හාලි ඇළ ජල මූලාශ්‍ර රක්ෂිතය පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තේ වතු ආශ්‍රිතව පිහිටි ඉඩම් කොටස් 362 කින් සමන්විත භූමි ප්‍රදේශය ‘හාලි ඇල ජල මූලාශ්‍ර රක්ෂිතය’ නමින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස පරිසර අමාත්‍යාංශය විසින් ගැසට් කර ඇත.

එම ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම ජල මූලාශ්‍ර සංරක්ෂණය කර නීතිමය රැකවරණය සැලසීමේ අරමුණින් මෙම ප්‍රදේශය පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත් බව ඔවුහු පැවසූහ.

බදුලු ඔය පෝෂණය කරන කුඩා ඇළ දොළ පෝෂණය කරන ජල මූලාශ්‍ර මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

ඒ අනුව මින් ඉදිරියට “හාලි ඇල ජල මූලාශ්‍ර රක්ෂිත පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ” අවසර ලත් භාවිතයන් පමණක් සිදු කළ හැකි අතර එම කටයුතු ගැසට් නිවේදනයේ දක්වා ඇති කොන්දේසිවලට යටත්ව සිදු කළ යුතුය.

ජල මූලාශ්‍ර රක්ෂිත ප්‍රදේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් රුක් රෝපණ වැඩසටහන්, ග්‍රාමීය ප්‍රජාවන්ට පානීය ජලය සැපයීම සඳහා ප්‍රජා මූලික ජල සම්පාදන ව්‍යාපෘති සහ හාලිඇල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ තිරසාර පැවැත්මට අදාළ ක්‍රියාකාරකම් සඳහා අවසර ලත් භාවිතයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ජාතික පාරිසරික පනතේ විධිවිධානවලට අනුව, පාරිසරික වශයෙන් අද්විතීය ප්‍රදේශ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම ප්‍රදේශ වල දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම සඳහා එවැනි ප්‍රදේශ නියාමනය කරනු ලැබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ පරිසර ආරක්ෂණ ප්‍රදේශ දහයක් නම් කර ඇති අතර, “හාලි ඇල ජල මූලාශ්‍ර රක්ෂිත පරිසර ආරක්ෂණ ප්‍රදේශය” එකොළොස්වන පරිසර ආරක්ෂණ ප්‍රදේශයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *