හංස ප්‍රචාරක යාන්ත්‍රණයේ නිදන්ගත දෝෂ

2015දී එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට ඉතා තීරණාත්මක බලපෑමක් සිදුකරන ලද්දේ මධ්‍යම පාංතිකයන් (මහාචාර්යවරු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, වෛද්‍යවරුන් සැළකියයුතු ප්‍රමාණයක්, නීතිඥවරු, ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයන්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව) විසිනි. කොටින්ම ජනාධිපතිවරණ ජයග්‍රහණය උදෙසා ගාමක බලය සැපයූයේ ඉහත කී පිරිස් බවත් එවකට එජාපය ප්‍රමුඛ හංස සන්ධානයේ ප්‍රබලතම අවිය මේ පිරිස වූ බවත් අතිශයෝක්තියක් නොවේ. නමුත් ඔවුන් එජාප පාක්ෂික පිරිසක් නොවූ අතර පාවෙන ඡන්දදායකයන් සහ ක්‍රියාකාරී පිරිසකි. මහින්ද රාජපක්ෂට ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාව අතර හොඳ ඡන්ද පදනමක් එදා තිබූ අතර අදද එහි සැළකියයුතු වෙනසක් නොමැත.

පොහොට්ටුව home work කරලා

මහින්ද සහ පොහොට්ටුව මෙම තත්වය මනා ලෙස කියවා ගත්තේය. තමාට බිම් මට්ටමේ නොසෙල්වෙන ඡන්ද පදනමක් ඇති බව අවබෝධ කරගත් ඔවුන් බලය ලබාගැනීමට නම් කල යුත්තේ මැද පංතියේ පාවෙන ඡන්ද පදනම සීග්‍රයෙන් ආක්‍රමණය කරන වැඩ පිළිවෙලක් බව මනාව අවබෝධ කරගත් බව පෙනේ.

ඒ අනුව මැතිවරණ සමයට වසර ගණනාවකට පෙර සිටම වියත්මග, එළිය වැනි මැද පංතිය ආමන්ත්‍රණය කරන සහ තම පාක්ෂික මැද පන්තිය තවදුරටත් සවිබල ගන්වන වැඩ පිළිවෙලවල් රාශියක් ක්‍රියාවට නැගුණි. වර්තමානයේ එහි සාර්ථක ප්‍රතිඵල පැහැදිලිවම පෙනෙන්නට ඇත. වියත්මග සහ එළිය හරහා සවිබල ගන්වන පෙල ගස්වන ලද වෘත්තිකයන්, උගතුන්, ටියුෂන් ගුරුවරුන්, ව්‍යාපාරිකයන් තම ඡන්දය පොහොට්ටුවේ අපේක්ෂකයාට ලබාදෙනවා පමණක් නොව මේ ⁣මොහොත වන විටත් තමා ඇසුරු කරන සමාජ මට්ටම් වල දේශපාලන තීරණයට සැළකියයුතු බලපෑමක් කරන භූමිකාවක් ඉටු කරති.

හංසයාට මඟ හැරුණු පාවෙන චන්ද

එජාපය 2015දී තම දැවැන්තම ශක්තිය වූ මැද පන්ති ඡන්ද පදනම කියවා ගත්තේ සම්පූර්ණයෙන්ම වැරදි අර්ථයක් ලැබෙන පරිදිය. එනම් එජාපය ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් වුවද ඔහුට 2015 මෙන්ම සක්‍රීය මැද පන්තියේ සහය අනිවාර්යයෙන්ම ලැබෙන බවට වන වැරදි උපකල්පනයක ඔවුන් එල්බගෙන සිටින බව පෙනේ.

මේ වැරදි උපකල්පනය මත එජාපය ප්‍රමුඛ හංස සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණ වශයෙන්ම පාහේ ඉලක්ක කර ඇත්තේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාව වේ. මේ හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයක අනිවාර්යයෙන්ම පැවැතිය යුතු සමබරතාවය එජාපය ප්‍රමුඛ හංස මැතිවරණය වේදිකාවෙන් මේ මොහොත වනවිට ගිලිහී ඇත.

ස්ථිර සහ නොසෙල්වෙන යැයි උපකල්පනය කළ මධ්‍යම පාංතික පාවෙන ඡන්ද වලින් සැළකියයුතු කොටසක් පොහොට්ටු මැදපංති මෙහෙයුම විසින්ද, තවත් කොටසක් අනුර කුමාර දිසානායකගේ ජාතික ජනබලවේගය විසින්ද තමතමන්ගේ ඡන්ද කෝටාවන්ට එක් කරගෙන ඇත. සැළකියයුතු කොටසක් තවමත් ගෝඨාභය පැරදවීමේ අරමුණින් එජාපය හා රැඳුණද, ඔවුන් පවා උදාසීන ලෙස කටයුතු කරනවා විනා ඡන්ද එකක් දෙකක් හෝ තම කඳවුරට එක්කාසු කරගැනීමට හැකියාව ලැබෙන පරිදි සක්‍රීය දායකත්වයක් සපයන බවක් නොපෙනේ.

ඒ අනුව මේ මොහොතේත් ගෝඨාභය දිනුම්

මේ හේතුවෙන් මේ මොහොත වන විට භූමියේ යථාර්ථය අනුව බිම් මට්ටමේ ස්ථාවර ඡන්ද පදනමක් සහ මැද පංතියේ තීරණාත්මක ඡන්ද පදනමක් ගෝඨාභය රාජපක්ෂ සතු බව පිළිගැනීමට සිදුවේ.

එජාපයේ ඇල් මැරුණු සමාජ ජාල ප්‍රචාරණය

සමාජ ජාලා සම්බන්ධයෙන්ද එජාප ප්‍රමුඛ හංස සන්ධානයේ ආකල්පය ඉතාම ඇලුමැරුණු එකක් බව පෙනේ. ඔවුන් වෙනුවෙන් සමාජ ජාලා ප්‍රචාරක කටයුතු සිදුකරන්නන් සිතා සිටින්නේ තම අපේක්ෂකයාගේ ඡායාරූප, ජනරැළි වල ඡායාරූප වැනිදෑ facebook හි හුවමාරු කරගැනීම facebook campaign එකක් යනුවෙන් විය යුතුය. එවැනි ප්‍රාථමික මට්ටමේ මූලාශ්‍ර අනුව ඡන්දය තීරණය කරන පිරිස්ද සිටිය හැකි වුවද ඒ සුළුතරයකි. ඔවුන්ගෙන් වැඩිදෙනාද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන විටම තමා ඡන්දය දෙන්නේ කාටදැයි බොහෝවිට තීරණය කර අවසන්ය.

Facebook campaign එකක් යනු එවැනි සරළ ක්‍රියාදාමයක් නොව පාපන්දු තරඟයක් වැනි දෙයකි. පන්දුව පිටියේ කෙළවරින් ඉදිරියට ගෙනගොස්, කෙළවර සිට මැදට එක්වරම යොමුකරන පන්දු වලට හිසින් පහරදී ලකුණු රැස්කිරීම facebook campaign එකක මූලික හරයයි. එය සම්පූර්ණයෙන්ම එජාප ප්‍රචාරක කණ්ඩායම් විසින් නොසලකා හැර තිබේ.

2015දී මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ කඳවුරේ කිසිවෙකු ෆේස්බුක් විප්ලව මගින් ආණ්ඩු පෙරළිය හැකියැයි සිතුවේ නැත. නමුත් නොසිතූ ලෙස අත්වූ පරාජය ඔවුන්ගේ අවධානයද ඒ වෙතට යොමු කරන්නට සමත් විය. එහි වටිනාකම මැනවින් අවබෝධ කරගත් පොහොට්ටුව ඉතා දක්ෂ ලෙස මේ මොහොත දක්වාම තම සමාජ ජාලා ක්‍රියාන්විතය ඉටුකරගෙන යති.

පාවෙන චන්ද එකතු කරන්නේ මෙහෙමයි..

ජනාධිපතිවරණයකදී කුමන කතා කියැවුණද ස්ථාවර ඡන්ද පදනම් සාමාන්‍යයෙන් වෙනස් වන්නේ නැත. එබැවින් තීරණාත්මක වන්නේ පාවෙන ඡන්ද පදනමයි. ජනාධිපතිවරණයකට පෙර තත්වය කුමක් වුවද එය ප්‍රකාශයට පත්කළ වහාම පාවෙන ඡන්දදායකයන් බහුතරයක් ෆැන්ටසිගත වේ. මේ ෆැන්ටසිගත ඡන්දදායකයන් අතින් අල්ලා හැරවිය නොහැක. ඔවුන් හැරෙන්නේ ස්වේච්ඡාවෙනි. එබැවින් උපක්‍රමික ප්‍රචාරක යාන්ත්‍රණයක අරමුණ විය යුත්තේ ස්වේච්ඡාවෙන් හැරෙන ඡන්දදායකයාට හැප්පී ගැටී ලිස්සා පෙරළී අවශ්‍ය ස්ථාවරයට තල්ලු වීම සඳහා අවශ්‍ය යටිතල ව්‍යූහය සැකසීමය. එය ශල්‍යකර්මක් වැනි අති සූක්ෂම කටයුත්තකි. පොහොට්ටු පාර්ශවය වෙනුවෙන් එය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව පෙනුණද හංස පාර්ශවය එම තත්වය අවබෝධ කරගෙන සිටින්නේද යන්න පවා සැකසහිත වේ.

ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය විශාල ඡන්ද පරතරයක් නොපෙන්වනු ඇත. නමුත් ඉහත සඳහන් ප්‍රචාරක යාන්ත්‍රණයේ දුර්වලතා අවසාන ප්‍රතිඵලයේදී මැනවින් නිරූපණය වනු ඇත.

නීතිඥ අථිල අතාවුද මහතා තම FB පිටුවේ පලකළ අදහසකි.(2019 ඔක් 30 වැනිදා තැබූ සටහනකි)

හංස ප්‍රචාරක යාන්ත්‍රණයේ නිදන්ගත දෝෂ============================2015දී එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ…

Posted by Athila Athauda on Tuesday, 29 October 2019

 

Leave a Reply

Your email address will not be published.