‘සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත් කරනවා’ – සෞඛ්‍ය අමාත්‍ය

සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බවද අමාත්‍යවරයා කීය.

එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන්  මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ  සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන සාකච්ඡාමය වැඩසටහන් අතරතුර දී ය.

වෘත්තීය සමිති සමග පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග  අමාත්‍යවරයා සාකච්ඡා  පවත්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *