සොරාගත් – සැඟවූ රජයේ වත්කම් හොයන්න පනත් 3ක්

දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සොරා ගත් හෝ සැඟවූ  රජයේ  වත්කම් අය කර ගැනීමට නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරි මාස කිහිපයේදී  ඉදිරිපත් කරන බව අධිකරණ සහ  ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

සොරා ගත් වත්කම් අයකර ගැනීම, මූල්‍ය අපරාධ වැළැක්වීම ණයහිමියන් සහ ණයගැතියන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් අපරාධ පිළිබඳ පනත් කෙටුම්පත, මුදා ගැනීමේ  පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත (සංශෝධන) පාර්ලිමේන්තුවට මෙසේ ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය

රජය මර්දන නීති හඳුන්වාදී නැතැයිද  හෙතෙම සඳහන් කළේය.

රජය අලුත් දේශපාලනයක් ආරම්භ කර ඇති බව පැවසූ නානායක්කාර මහතා  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු පනතක් බවද ප්‍රකාශ කළේය.

ජාත්‍යාන්තර නීතියට   ප්‍රඥප්තිවලට  ගැලපෙන ප්‍රති ත්‍රස්ත පනතක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය  බවද ඔහු  සඳහන් කළේය.

භාෂණයේ නිදහසට මේ රජය ගරු කරන බව පැවසූ නානායක්කාර මහතා එම නිදහස තහවුරු කර ගැනීමට ධනාත්මක පියවර ගැනීමට සූදානම් බවද  ප්‍රකාශ කළේය.

භාෂනයේ නිදහස සහ අපරාධ කියන්නේ ලඟින් යන කරුණු දෙකක් බවද හර්ෂණ නානායක්කාර  මහතා කීවේය.

තම කණ්ඩායම ආණ්ඩුකරණයට අළුත් නමුත් දේශපාලනයට අළුත් නැතැයිද හෙතෙම පැවසීය.

අන්තවාදය ජාතිවාදය පැරදවීමට නීති ගෙන එන බවද ඔහු කීවේය.

පහුගිය ආණ්ඩු නීතිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නොකළ බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ධනය බලය අනුව වෙනස් වන  නීතියක් මේ රටට හඳුන්වා නොදෙන බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *