සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීම රෝහල් 150 කදී

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් සිදුකරන සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය පරීක්ෂණය තවත් රජයේ රෝහල් 150 ක දී සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව අද (06) සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් සිදු කරන මෙම කර්තව්‍යය ලංකාවේ මහරෝහල්, මුලික රෝහල් ඇතුළු රෝහල් කීපයකට විමද්‍යගත කර ඇති බවයි. නමුත් එම රෝහල් මඟින් අදාළ වෛද්‍ය සහතික නිකුත් කිරීමේදි සේවාලාභීන්ට එකම ස්ථානයකින් සියලු පරීක්ෂණ සිදු කරගැනීමට හැකියාවක් නොමැති බැවින් රජයේ රෝහල්වල එම කාර්යය සඳහා වෙනම ඒකකයක් පවත්වා ගැනීම සුදුසු බවට හඳුනාගෙන ඇති බවත්ය.

ඒ අනුව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් සකස් කරනු ලබන ආකෘතියකට අනුව රජයේ රෝහල් මඟින් ද අදාළ පරීක්ෂාවන් සිදු කර සේවාලාභීන්ට වෛද්‍ය වාර්තාවන් ලබා දීමට හා සියලු සේවාවන් එක් ස්ථානයකින් ලබා ගැනීමට හැකි වන පරිදි රජයේ රෝහල් තුළ පහසුකම් සහිත ඒකක පිහිටුවීම පිණිස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත මෙම යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පහසු වනු පිණිස වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී සලකා බලනු ලබන වෛද්‍ය සහතික නිකුත් කිරීමට බලය පැවරෙන අයුරින් 2009 අංක 8 දරන මෝටර් රථවාහන පනත සංශෝධනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *