ස්වාමි කෛලාෂානන්ද ගිරි ජීගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාෂානන්ද ගිරි ජීගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

නිකුත් කළ නිවේදනයකින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අදාළ වාර්තා 2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයක් සම්බන්ධයෙන් වන අතර, එය මෑතකදී සිදු වූ සංචාරයක් නොවන බවයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව එම ආගමික නායකයා සහ දූත පිරිස 2026 පෙබරවාරි 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම සංචාරය අතරතුර දූත පිරිස ප්‍රකට ශිව දේවාල ඇතුළු දිවයිනේ ආගමික හා ඓතිහාසික ස්ථාන කිහිපයක සංචාරය කර තිබේ.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වූයේ රාමායණ මංපෙත ඇතුළු ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳව ඉන්දීය බැතිමතුන් සහ සංචාරකයන් දැනුවත් කිරීම බව ද අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන ඉන්දියාව තුළ මෙරට සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවැනි වැඩසටහන් වැදගත් වන බව ද එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය වීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ද මෙම සංචාරයේ අරමුණු අතර වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පෙර සිදු වූ සංචාරයක් පිළිබඳ වාර්තා වර්තමානයේ සිදුවන සිදුවීමක් ලෙස ඉදිරිපත් කිරීම නොමඟ යවන සුළු බව අවධාරණය කළ අමාත්‍යාංශය, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඒවායේ මුල් දිනය සහ පසුබිම සැලකිල්ලට ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *