සුරාබදු ගෙවීම් ප්‍රමාද වූ ආයතන 7ක් පවතින බවත් සමාගම් දෙකක් රුපියල් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇති බවත් අනාවරණය වී තිබේ.
රුපියල් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතු සමාගම් 2 සම්බන්ධව කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බව පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය.
අනෙක් සමාගම් ගෙවීම් සැලසුම්වලට අනුව කටයුතු කළද මෙම සමාගම් ද්විත්වය ගෙවීම් සැලසුම් ඉදිරිපත් කොට නොමැති බවත් මෙහිදී හෙළිදරව් විය.
අදාළ සමාගම් ද්විත්වය, ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩාව යන සමාගම් බවද මෙහිදී තවදුරටත් අනාවරණයවී තිබේ.
ක්‍රම සහ විධි කාරක සභාව ඊයේ පෙරවරුවේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වූ අවස්ථාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කරුණු හෙළිකර ඇත.
එමෙන්ම අදාළ සමාගම් තම හිඟ බදු ඔක්තෝබර් 15 දිනට පෙර ගෙවීමේ අවශ්‍යතාව යළි අවධාරණය කෙරුණු අතර, එසේ නොකළ හොත් ඔක්තෝබර් 30 වනදා වන විට බලපත්‍ර අත්හිටුවීමක් සිදු කළ යුතු බව අවධාරණය කෙරුණි.
මත්පැන් අලෙවි ආයතනවලට බලපත්‍ර ලබාදීමේදී මින් යම් තැන්පතුවක් (Deposit/Bond) තබාගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදි.
සාම්පල වශයෙන් පරීක්ෂාවට ලක්වූ මත්පැන් බෝතල් 60,532 කින් 55,000කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ස්ටිකරය සහිත බෝතල් බව ද මෙහිදී හෙළිවිය.
ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ වැටලීම් දිගින් දිගටම සිදු කරගෙන යන බවත්, එම වැටලීම්වලින් 90% කට වැඩි ප්‍රමාණයක ස්ටිකර් ව්‍යාජ ඒවා බවත්, සුරාබදු නිලධාරීන් විසින් අනාවරණය කරන ලදි.
එහිදී කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ සිල්ලරව මත්පැන් අලෙවි කරන ආයතන මෙම ව්‍යාජ ස්ටිකර් යෙදූ ඒවා ඉවත් කළා ද? නැද්ද? යන්න සම්බන්ධව වාර්තාවක් අවශ්‍ය බවය.
දිගින් දිගටම අදාළ වැටලීම් සිදු කළ යුතු බවත්, දඩ ගැසීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරන ලෙසත් දඩ ගැසූ දින සිට මින් ඉදිරියට ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් අලෙවි කළහොත් මත්පැන් විකිණීමේ බලපත්‍රය අහෝසි කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, මෙහිදී අවධාරණය කෙරුණි.