සජිත්ට සහාය දෙන දෙමළ සන්ධාන ඉදිරිපත්කළ යෝජනා 13 මතක ද?

එලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා ප්‍රධානතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් සියලු දෙනා අද දිනයේ වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස්වූවේ එලඹෙන ජනාධාපතිවරණයේදී සහය දෙනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගැනීමටය.

මෙවර ජානාධිපතිව්රණයේ දී පහත සඳහන් ඉල්ලීම් 13 ඉටුකරන ජනාධිපතිවරයට තම සහාය ලබාදෙන බව දෙමළ සන්ධාන පසුගිය දා පවසා තිබුණි.

දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.
2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.
3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.
6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.
7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.
9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.
10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.
11. උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.
12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.
13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

තවද  කරුණු13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සාධාරණයක් ඉටුවන බවට දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සජිත් ‍ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කොට තිබුණා.

කෙසේ වෙතත්  එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උතුරේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් සමග රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *