ශ්‍රී ලංකා ක්‍රිකට් සතු ස්වයංක්‍රිය ගිණුම ඇමති හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් වංචා දූෂණ රැසක් අනාවරණවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව පවතින සුවිශේෂී බැංකු ගිණුමක් පිළිබඳවත් කරුණු හෙළි කෙරුණි.

“ඉවසලා ඉවසලා බැරිම තැන තමයි හෙළිකළේ. මෙන්න අලුත් කරුණු. 2018 සංචාරක එංගලන්ත කණ්ඩායමේ ලංකා සංචාරයේදී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු පළමු වාරික මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් රුපියල් දසදහස් 175න් ලක්ෂයක් මුදල් වෙනත් බැංකු ගිණුමකට යොමු කිරීමට උත්සාහ දරා ඇත.”

“මෙම ගිණුම හොංකොංවල පිහිටි ගිණුමක්. එහි විශේෂත්වය මෙම ගිණුමට කවර හෝ ඩොලර් තැන්පතුවක් ලැබුණොත් එය ස්වයංක්‍රියව අමෙරිකා එක්සත් ජනපදයේ ගිණුමකට හුවමාරු වෙනවා.”

“මෙම ගිණුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ගිණුමක්.”

“අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල තාමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණේද යන්න කිසිවෙක් නොදනී. ඒක ඇවිත් නැහැ.”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නමින් මෙහෙම ගිණුම් අරින්නේ කොහොමද?”

“දැන් ගිය සතියේ හදිසියේ ක්‍රීඩා සමාජවලට සල්ලි බෙදලා. ක්‍රීඩා සමාජ රැසකට මුදල් ලබාදීලා. සමස්තය රුපියල් ලක්ෂ 5,400ක්.”

“ක්‍රිකට් බෝඩ් එකට වාහන 24ක්. අති සුඛෝපභෝගී වාහන. තවත් වාහන 13කට වැඩි ප්‍රමාණයක් කුලියට අරගෙන තිබෙනවා.”

“අද පාර්ලිමේන්තුවේ දෙපැත්තම එකතුවෙලා තිබෙනවා. ජාතික ජනබලවේගය හැර අනෙක් පක්ෂ ඔක්කොම ඉන්නවා. එතුමලා මේකට එකඟද?  නැද්ද? කියලා අපි දන්නේ නැහැ.”   

”දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම” මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ගෙනආ ඒකාබද්ධ යෝජනාව අද ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කෙරුණි.

අවසානයේ විපක්ෂය මෙම යෝජනාව සඳහා ඡන්දයක් ඉල්ලා සිටියත් ආණ්ඩු පක්ෂය කියා සිටියේ තමන් ඒකමතිකව මෙම යෝජනාව සම්මත කරන බවය.

ඒ අනුව යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වන බව කථානායකවරයා නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *