ශ්‍රී ලංකා – ඉන්දියා පළමු එක්දින තරගය : ලකුණු සමවෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර ඊයේ (02) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණි.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගයේදී යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මොහෙමඩ් ශිරාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබා ගැනීම විශේෂත්වයකි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කරමිනි.

පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කළ අතර සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් සහ වනිඳු හසරංග ලකුණු 24ක් රැස් කළේය.

ලකුණු 231ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල පළමු කඩුල්ලට ලකුණූ 75ක සබඳතාවක් ගොඩනැගුවේය.

අනතුරුව ලකුණු 12ක් තුළ නායක රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ වොෂිංග්ටන් සුන්දර් දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ඉන්දීය පිලට පීඩනයක් එල්ල කළේය.

වනිඳු හසරංග විසින් විරාත් කෝලිව සහ අසිත ප්‍රනාන්දු ශ්‍රේයස් අයියර් ව දවා ගත්තද ශ්‍රී ලංකා ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වුයේ නැහැ.

ඉන්දීය පිලට ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් ලබාගැනීමට තිබිය දී චරිත් අසලංකගේ පන්දු යැවීම හමුවේ එක පිට කඩුලු දෙකක් බිඳ හෙළීම නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *