ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස ජනපති පොලිසියට උපදෙස් දෙයි

ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සහ සේවකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් ඊශ්‍රායලයට ආපසු යාමට පහසුකම් සැලසීමට සහාය වන ලෙස ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව තුළ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිසියට උපදෙස් දුන්නේය.

පසුගියදා ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාර සහ දෙරටේම වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජාතිකයන්ට එහි බලපෑම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට කළ දැනුම්දීමකදී දැඩි කනස්සල්ල පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.

ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති වික‍්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙම පුද්ගලයින් සොයා බලා ඔවුන්ගේ යහපැවැත්ම සහතික කරන ලෙස ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

ඊශ්‍රායලය සහ පලස්තීනය යන රාජ්‍ය දෙකේ සංකල්පයට ශ්‍රී ලංකාව දිගුකාලීනව දක්වන සහයෝගය යළිත් තහවුරු කරන අතරම, සිවිල් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කරමින් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ ප්‍රහාරය ජනාධිපති වික්‍රමසිංහ හෙළා දකියි. ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවේචන එල්ල වුවද මෙවැනි ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.

ගෝලීය ඉන්ධන මිල මත අර්බුදයේ පුලුල් ප්‍රතිවිපාක අවධාරනය කරමින් අප්‍රිකානු සංගමයේ යෝජනාවට අනුව එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ ඉල්ලා සිටියේය.

දැනට පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපාන පරිදි දීර්ඝ කාලයක් ඉන්ධන මිල ඉහළ යාමට ඉඩ ඇති බව ඔහු සඳහන් කළේය.

වත්මන් අර්බුදය මධ්‍යයේ කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ එහි පුරවැසියන්ගේ සහ විදේශිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා දක්වන සැලකිල්ල ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අවධාරණය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *