ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනයට කියුබාවේ සහාය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා කියුබාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරට එකඟ වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මේ බව සඳහන් කළේ කියුබාවේ හවානා නුවරදී එරට ක්‍රීඩා අමාත්‍ය ඔස්වල්ඩෝ වෙන්ටෝ මහතා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුවය.

ශ්‍රී ලංකාව තුළ විශේෂිත ක්‍රීඩා පුහුණු වැඩසටහන් කිහිපයක් කියුබාවේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බව අමාත්‍යවරයා පැවසීය.

එම වැඩසටහන් සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට කියුබානු රජය එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

කියුබාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදී මේ වන විට රන් පදක්කම් 89ක් ඇතුළුව පදක්කම් 244ක් දිනාගෙන ඇති අතර, විශේෂයෙන් බොක්සිං සහ මල්ලවපොර ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රවල ජාත්‍යන්තර වශයෙන් ඉහළ දස්කම් දක්වන රටක් ලෙස සැලකේ.

කියුබානු ජාතික බොක්සිං සහ මල්ලවපොර සම්මේලනවල සභාපතිවරුන් මෙන්ම කියුබාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද රත්නායක මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *