ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීය වන්දනා ස්ථානයක් ලෙස සැලකෙන ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චැන්ග් මහත්මිය ද පැමිණ තිබේ
වන්දනා නඩ සහ වික්රමයන්ට ප්රියකරන පුද්ගලයන් සමඟ එක්ව ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගෙන තිබෙන ජූලි චැන්ග් මහත්මිය සමනල කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් මෙන්ම සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබාගෙන තමා ශ්‍රීපාද කන්ද තරණය කළ බව ද සඳහන් කරයි.
ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙන දුන් නමුත්, කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය භාර ගැනීම පිළිබඳව සතුටු වූ බව ප්‍රකාශ කරන තානාපතිනිය දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණයන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදු වූ උණුසුම් හමුවීම් මෙම ගමනේ වැදගත් සිදුවීම් බව ද කියා සිටී. තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් දුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩිකළ බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පෙන්වා දෙයි.
මුහුදු මට්ටමේ සිට මීටර 2,243ක් උසින් පිහිටි ශ්‍රී පාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම හේතුවෙන් විවිධ ජනවර්ග තමන්ට ආවේණික නම්වලින් ශ්‍රී පාදස්ථානය හඳුන්වන අතර, බෞද්ධ ජනයා ‘ශ්‍රී පාද’ යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයක් වන අතර, බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ සමනල කඳු මුදුනේ උන්වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇත.
දමිළ වැසියන් ශ්‍රී පාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙෙනකු වන ශිව දෙවියන්ගේ පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙස වන නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවයි. ශ්‍රී පාදස්ථානය සමනල කන්ද ලෙස ද හඳුන්වයි. එසේ හඳුන්වන්නේ සමනලයන් උන්ගේ වාර්ෂික සංක්රමණයේ දී ශ්‍රී පාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි.
සුමන සමන් දෙවියන් ශ්‍රී පාදස්ථානයේ වාසය කරන බව සලකා ‘සමන්ත කූට’ යන නමින් ද ශ්‍රී පාදස්ථානය හඳුන්වයි. මීට අමතරව ‘රත්නගිරි’, ‘ස්වර්ගරෝහනම්’ යන නම්වලින් ද ශ්‍රී පාදස්ථානය හඳුන්වන නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය. එය ඔවුන්ගේ වසර 2500ක අධික ඉතිහාසය පිරික්සා බැලීමේ දී මනාව පැහැදිලි වන අතර, මෙහි ඇති ඵෙතිහාසික පසුබිම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනියගේ ද අවධානය යොමුව තිබේ.