වී ගන්න කෝටි 500ක්

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා  පැවසීය.

අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ (5) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශයට වී මිලදී ගැනීම සඳහා ලැබුණු මුදලක් අවශ්‍යතාව අනුව වී අළෙවි මණ්ඩලයට යොමු කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා අවශ්‍යතාව අනුව වී මිලදී ගැනීම මත මුදල් ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

මෙවර නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක් ලබාදීමත් සමඟ එම වී කිලෝවකට ගොවියෙක්ට පෙර වතාවට වඩා රුපියල් 15 ක් ලැබෙන බවත් සෙසු වීවල මිල ද ඉහළ දමා ඇති බවත් අමාත්‍යවරයා කීය.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමෙන් පසුව එම මුදල් රාජ්‍ය මුදල් වීම නිසා පසුව ගෙවීමට කටයුතු කරන බවත් එසේ වුවද පසුගිය කාලයේ මෙන් මුදල් ගෙවීම දිගුකාලයක් ප්‍රමාද නොවන බවත් ඒ මහතා පැවසීය.

මෙවරව මිලදී ගැනීම වඩාත් විනිවිදභාවයෙන් කිරීම සඳහා ගබඩා භාරකරුට අමතරව සංවර්ධන නිලධාරීයෙක් සහ ගොවි සංවිධාන නියෝජිතයෙක් ද යොදවා ඇති බවත් ඒ හරහා ආණ්ඩුව මහජන මුදල් වැයකර මිලදී ගන්නා වීවලට ආරක්‍ෂාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *