විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කඩිනම් පියවර අවශ්‍යයි – අගමැතිනි

ආබාධ සහිත දරුවන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම තහවුරු කිරීම සඳහා අන්තර්ග්‍රාහී අධ්‍යාපනය ශක්තිමත් කිරීමත්, චිකිත්සකයින් සහ වෛද්‍ය වෘත්තිකයින්ගේ හිඟයට විසඳුම් ලබාදීමත් කඩිනමින් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

වෙනිවැල්කොළ පිහිටි ශිෂ්‍යෝදය ජාතික විශේෂ හා අන්තර්ග්‍රාහී අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ආබාධ සහිත දරුවන් විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි පිරිසක් බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇය පැවසුවාය.

දරුවන්ගේ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කරමින් ඔවුන් අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ සමස්ත සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

2019 වසරේදී අන්තර්ග්‍රාහී අධ්‍යාපනයට අදාළ මූලික ප්‍රමිතීන් සහ සැලසුම්වලින් බැහැරව මෙම ආයතනය ස්ථාපිත කර ඇති බව සඳහන් කළ ඇය, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන සහ අන්තර්ග්‍රාහී අධ්‍යාපනයේ අරමුණු ඉටු කරන ආයතනයක් ලෙස එය සංවර්ධනය කළ යුතු බව පැවසුවාය.

ඒ සඳහා ආයතනයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමටද ඇය යෝජනා කළාය.

එමෙන්ම, චිකිත්සකයින් සහ සායනික සේවා සපයන්නන්ගේ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ආයතනය සතු උපකරණ සහ ගොඩනැගිලි සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස භාවිත කර ඒවා නඩත්තු කිරීමේ අවශ්‍යතාවද ඇය අවධාරණය කළාය.

“තිරසාර විසඳුම් සොයා ගැනීම අත්‍යවශ්‍යයි. එහෙත් ප්‍රමාදයකින් තොරව විසඳිය හැකි ගැටලු සඳහා කඩිනම් මැදිහත්වීම්ද සිදු කළ යුතුයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මෙම සංචාරයේදී ආයතනයේ සේවය කරන ගුරුවරුන්ගේ සුබසාධනය පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, එහි සේවය කරන කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහාය ලබාදීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *