විශ්‍රාමික දීමනාව ඔක්තෝබරයේ දෙකම එකට ගෙවන්න

ආණ්ඩුව විශ්‍රාමිකයන්ට ගෙවීමට බලාපොරොත්තු රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාවද  සමඟ දෙකම එකට ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ අතර  මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ  ලේකම්වරයාට දැනුම්දී ඇත.

ලේකම්වරයා  ඒ ආකාරයට කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක් බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදාගැනීමේ සිද්ධීන්  පිළිබඳව  රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැන  සෙවීමටත් එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවන ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වෙනම කණ්ඩායම් පත්කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම පිළිබඳ පැමිණිලි සිය ගණනක් කොමිෂන් සභාවට දැනටමත් ලැබී ඇති බවත් එවැනි ක්‍රියා සිදුවන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීමේ සිද්ධීන් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධාවන හෙයින් අායතනවලට හදිසියේම  කඩා පැන ඒවා සෙවීමට මෙසේ වෙනම කණ්ඩායම් පත්කළ බව පැවසූ සභාපතිවරයා රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නැයි සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් නැවත වරක් ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *