විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය

තාර බර කිලෝග්‍රෑම් 500 නොඉක්මවිය යුතු යන නීතිය ඉවත් කරමින් මෝටර් රථ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෝටර් රථ පනතේ අර්ථ නිරූපණයට අනුව මෝටර් ත්‍රිරෝද රථයක බර කිලෝග්‍රෑම් 500 නොඉක්මවිය යුතු බවත්, දළ බර කිලෝග්‍රෑම් 1000 නොඉක්මවිය යුතු බවත් ඔහු පැවසීය.

“විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමටත්, පෙට්‍රල් හෝ ඩීසල් වලින් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ විදුලියෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ බවට පත් කිරීමටත් විද්‍යුත් ආරෝපිත බැටරි භාවිතා කරනවා,” අමාත්‍යවරයා පැවසීය.

මේ හේතුව නිසා මෙවැනි ත්‍රිරෝද රථවල තාර බර කිලෝග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන ඇති බවද හෙතෙම පැවසීය.

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට පවතින බාධාව ඉවත් කරමින් මෝටර් රථ පනත සංශෝධනය කිරීමට 2022 අගෝස්තු 8 වැනිදා කැබිනට් අනුමැතිය හිමි විය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා සකස් කළ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා.

එබැවින් එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *