වැලිගම සභාපතිගේ ඝාතකයන් හොයන්න කණ්ඩායම් හතරක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අදාළ ඝාතනය සඳහා උණ්ඩ 4ක් භාවිත කර ඇතැයි ද මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ ඔවුන් අතර රැඳී සිට තිබුණි.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *