දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් ඊයේ (19) පැවසීය.
සියලු දෙනාගේ අදහස් හා යෝජනා එකතු කරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය. සේවකයන්ට වෘත්තිය ගැටලු තිබේ නම් ඒවා පිළිබඳව ද වෘත්තිය සමිති සමඟ කඩිනමින් සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
ජාතික ජන බලවේග රජය ගැන රාජ්‍ය සේවකයන් තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව කී අමාත්‍යවරයා කතා කිරීමට කිසිවකුට බාධාවක් නොමැති හෙයින් ඕනෑම අවස්ථාවක පැමිණ තම වැඩපිළිවෙළ ගැන කතා කිරීමට සැමට අයිතියක් තිබෙන බව සඳහන් කළේය.