වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන මුදල් අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (10) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු අද දිනය දක්වා කල්තැබුණි.
සභාව කල්තැබීමෙන් අනතුරුව සභා නායක සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී අදාළ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළේය.
ඒ අනුව පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව සඳහන්ය.
අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර සභාවේ මුලික කටයුතුවලින් අනතුරුව මෙම විවාදය ආරම්භ කිරීමට නියමිතය.
සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, නියමිත වේලාව තුළ දීම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.
මේ අතර අද උදෑසන 8.30ට ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් පැවැත්වීමට ද පියවර ගෙන ඇති බව ද සභානායකවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් වැට් බදු සංශෝධන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරමින් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවය.
මේ අතර වැට්බදු සංශෝධන පනත් කෙටුම්පත නිසි විවාදයක් පැවැත්වීමෙන් තොරව සම්මත කිරීමට ඉඩ නොදෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.