වාහන ණය හා ලීසිං තක්සේරු කිරීම සඳහා මහ බැංකුවෙන් නව රෙගුලාසි

දැනට පවතින ණය-වටිනාකම් අනුපාත (Loan-to-Value – LTV) සීමාවන් මූල්‍ය ආයතන විසින් මඟහැරීම වැළැක්වීමේ අරමුණින්, ණය සහ කල්බදු (Leasing) පහසුකම් ලබාදීමේදී මෝටර් රථ තක්සේරු කිරීම පාලනය කෙරෙන නව රෙගුලාසි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී තිබේ.
2026 අංක 03 දරන මහ බැංකු විධිවිධාන යටතේ නොවැම්බර් 09 වැනිදා නිකුත් කරන ලද මෙම නව රෙගුලාසි 2026 නොවැම්බර් 10 වැනිදා සිට බලාත්මක විය.
මෝටර් රථ මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සපයන බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන සඳහා මෙම විධිවිධාන අදාළ වේ.
සංශෝධිත නීතිරීති යටතේ වාහනවල වටිනාකම තීරණය කළ යුතු ආකාරය පහත පරිදි වේ:
ලියාපදිංචි නොකළ නවතම වාහන (Brand-new): බලයලත් නියෝජිතයා විසින් නිකුත් කරන ලද බදු ඉන්වොයිසියේ (Tax invoice) සඳහන් අවසන් ගෙවිය යුතු මිල මත පදනම්ව වටිනාකම තීරණය කළ යුතුය.
ලියාපදිංචි නොකළ රීකන්ඩිෂන් වාහන (Reconditioned): අදාළ වන පරිදි අලෙවිකරුගේ බදු ඉන්වොයිසියේ සඳහන් අවසන් ගෙවිය යුතු මිල හෝ රේගු නිෂ්කාශනයේදී සැලකිල්ලට ගත් වටිනාකම මත පදනම්ව තක්සේරු කළ යුතුය.




