Sunday, 22 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වාහන ආනයන බදු, රේගු ප්‍රමාද හා විදුලි වාහන ප්‍රමිතීන් ගැන පාර්ලිමේන්තු කමිටුවේ අවධානය

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

විදුලි වාහන (EV) බැටරිවල ආයු කාලය අවසන් වීමෙන් පසු ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් වගකීම භාර ගැනීම තහවුරු කෙරෙන නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව (Committee on Ways and Means) අවධාරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් මෑතකදී පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමකදී මෙම කරුණ මතු කෙරිණි.

වාහන ආනයන බදු සහ රේගු නිෂ්කාශන ප්‍රමාදයන්

මෙම සාකච්ඡාවේදී, වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව මෙරටට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව හා වටිනාකම මෙන්ම වාහන ආනයනය සඳහා අදාළ වන බදු රාමුව පිළිබඳව ද කාරක සභාව සමාලෝචනය කළේය. එන්ජින් ධාරිතාව, CIF වටිනාකම (Cost, Insurance and Freight) සහ නිෂ්පාදන බදු ඇතුළු සාධක කිහිපයක් මත පදනම්ව ආනයන බදු ගණනය කිරීමේදී පවතින සංකීර්ණතා කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූ අතර රේගු තක්සේරු ක්‍රියාපටිපාටි පිළිබඳ ගැටලු ද සාකච්ඡා කෙරුණි.

ශ්‍රී ලංකා රේගුවට අමතරව රාජ්‍ය ආයතන කිහිපයකින්ම අනුමැතිය ලබා ගැනීමට සිදුවීම නිසා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාව වැඩිදුරටත් විමර්ශනය කළේය. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සම්බන්ධ කරන ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් නොමැති වීම හේතුවෙන් සම්බන්ධීකරණ අභියෝග මතුවී අනුමත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම ප්‍රමාදයන් නිසා බහාලුම් දීර්ඝ කාලයක් වරායේ රඳවා තබා ගැනීමට සිදුවී ඇති අතර, අමතර ගබඩා ගාස්තු හා ඒ ආශ්‍රිත ගාස්තු හරහා ආනයනකරුවන්ගේ පිරිවැය ඉහළ ගොස් ඇත. ඒ අනුව, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ සහ ආනයනික භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ක්‍රියාපටිපාටි විධිමත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.

විදුලි වාහන බැටරි, ප්‍රමිතීන් සහ බදු සහන

විදුලි වාහන ආනයනය හා භාවිතය ඉහළ යාම වටා පවතින පාරිසරික හා නියාමන ගැටලු කෙරෙහි ද මෙහිදී සැලකිය යුතු අවධානයක් යොමු විය. විශේෂයෙන්ම, භාවිත කළ විදුලි වාහන බැටරි නිසි ලෙස බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත යාන්ත්‍රණයක් නොමැතිකම කාරක සභාව විසින් ඉස්මතු කෙරුණි.

විදුලි වාහන සහ ඒවායේ බැටරි සඳහා සුදුසු ගුණාත්මක ප්‍රමිතීන් හඳුන්වා දීමේ වැදගත්කම මෙන්ම, විදුලි වාහන නිවැරදිව රේගු වර්ගීකරණය කිරීම සහ බදු අය කිරීම තහවුරු කිරීම සඳහා සුදුසු සුසංයෝගී පද්ධති (HS) කේත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරුණි.

විදුලි වාහන භාවිතය දිරිමත් කිරීමට සහ ඒවා සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් මිලදී ගත හැකි තත්ත්වයට පත් කිරීමට බදු ප්‍රතිපත්ති සරල කිරීමේ වැදගත්කම ද කාරක සභාව අවධාරණය කළේය. විදුලි වාහන ආරෝපණය කිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියට එල්ල විය හැකි අමතර පීඩනය අවම කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම්, විශේෂයෙන්ම සූර්ය බලශක්තිය සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති ප්‍රවර්ධනය කිරීම තවත් වැදගත් පියවරක් ලෙස හඳුනා ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන්, විදුලි වාහන ආනයනය හා භාවිතය දිරිමත් කිරීම සඳහා බදු සහන සහ අනෙකුත් ප්‍රතිපත්තිමය දිරිගැන්වීම් හඳුන්වා දීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රේගු වර්ගීකරණ සහ HS කේත යාවත්කාලීන කිරීම සහ ආයු කාලය අවසන් වූ විදුලි වාහන බැටරි පරිසර හිතකාමී ලෙස එකතු කිරීම, බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පුළුල් පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳව කාරක සභාව සාකච්ඡා කළේය.

ඔබේ අදහස