දිවයින පුරා ගත වූ වසර දෙකක කාලයෙහි සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කළ වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 146 දෙනෙකු මිය ගොස්, තවත් 114 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
වෙඩි තැබීම් 224 කින් මෙම ඝාතන සහ තුවාල සිදු කර ඇති බවද පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. 2022. මැයි මස 30 දින සිට, 2024 නොවැම්බර් 11 දක්වා කාලය තුළ එම වෙඩි තැබීම් සිදුව ඇති බවද එම නිලධාරියා පැවසීය.
වෙඩි තැබීම් වැඩි වශයෙන්ම සිදුවී ඇති බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති වෙඩි තැබීම් ගණන 133 කි.මේ කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 78 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇත. දකුණු පළාතෙහි මෙම කාලය තුළ වෙඩි තැබීම් 81 ක් සිදුව ඇති අතර, ඉන් 61 දෙනෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
බස්නාහිර පළාතෙහි පමණක් මෙම කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දකුණු පළාතෙන් 77 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.