ලලිත් ඇතුලත්මුදලි නමින් විශ්වවිද්‍යාලය නම් කෙරේ

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ මූලිකත්වයෙන් අධ්‍යාපනයට කරන ලද දායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නමින් සීතාවක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පර්යේෂණ ආයතනය නම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය විසින් ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මහපොළ 2023 ප්‍රදර්ශනය අමතමිනි.

දැනුමෙන් පිරි පුරවැසියන් බිහිකිරීමටත් විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන ඒමටත් මහපොළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා අධ්‍යාපනය කෙරෙහි ඇති කරන පරිවර්තනීය බලපෑම අවධාරණය කළේය.

දිවංගත හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කරන ලද මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර කිරීම සඳහා මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාද ලත් දෙමාපියන්ගේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම මෙම අරමුදලේ අරමුණයි.

වසර 10ක විරාමයකින් පසු 226 වැනි මහපොළ පොළ මෙවර පැවැත්වෙන අතර ප්‍රදර්ශනය දෙසැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

විවිධ ප්‍රදර්ශන කුටි 350කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නව නිපැයුම්කරුවන්ට සහ ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ විභව වෙළෙඳපොළ වෙත පිවිසීමට වේදිකාවක් සපයයි. ප්‍රදර්ශනය දෙසැම්බර් 13 වැනිදා ආරම්භ විය.

මීට අමතරව ලලිත් අතලමුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා අන්තර්ජාලය ඔස්සේ පරිත්‍යාග කිරීමේ පහසුකම සපයමින් www.eservices.mahapola.lk වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *