ලංවිමේ හැට හය දෙනෙකුගේ වැඩ තහනම්

වැඩ තහනම් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකගේ සේවය මෙසේ අත්හිටුවා ඇත.

විදුලිබල මණ්ඩලය පැවසුවේ, පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගිය දා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබිණි.

ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසු ව උපදෙස් ලබා දී තිබිණි.

කෙසේ වෙතත් විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර තිබියදීත්, පසුගිය වැඩවර්ජනයේ දී පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි ලංවිම සේවකයින් හඳුනා  ගැනීම සඳහා  තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා  විදුලිබව මණ්ඩලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *