ලංකා-ඉතාලි ගුවන් සේවා ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දෙරට අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා කටයුතු වලට අදාළ පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය සාකච්ඡා පවත්වා ඇති අතර, ඒ අනුව දෙරට අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා 2018-07-24 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

එහෙත්, එකී ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැති අතර, කඩිනමින් එකී ගිවිසුමට එළඹීමේ යෝග්‍යතාව දෙපාර්ශ්වය විසින් හඳුනාගනු ලැබ තිබේ. යෝජිත ගිවිසුම යටතේ ඕනෑම වර්ගයක ගුවන්යානයක් උපයෝගි කර ගනිමින් එකඟතාවකට පැමිණි ගුවන් මාර්ග ඔස්සේ ගුවන් මගී සේවා සඳහා සතියකට නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන්වාර 14ක් දක්වා සහ ගුවනින් භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා සතියකට නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන්වාර 7 ක් දක්වා පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර එකී ගුවන් සේවා ගිවිසුම අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *