රනිල් දුන් බාර් පර්මිට් අවලංගු කරන්න බැහැ – කළොත් අපට නඩු වැටෙනවා – බිමල්

ජාතික ජන බලවේග රජය විසින් නව මත්පැන් බලපත්‍ර කිසිවක් නිකුත් නොකරන බවත්, පසුගිය රජය විසින් නීත්‍යානුකූලව ලබා දුන් බලපත්‍ර අවලංගු කිරීමට ගියහොත් එය නීතිමය ගැටලු ඇති කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දිරන් කෝඩීස්වරන් මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මෙම කරුණු අනාවරණය කළේය. විශේෂයෙන්ම පසුගිය රජය සමයේ නිකුත් කළ බලපත්‍ර බොහොමයක් මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ අරමුණින් ලබා දුන් ඒවා බව ඔහු පැවසීය.

“මෙම බලපත්‍ර බොහොමයක් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම ධුර කාලයේ අවසාන මාස කිහිපය තුළ නිකුත් කළ ඒවා” යැයි සභානායකවරයා වැඩිදුරටත් පැවසීය. මෙම සියලු තොරතුරු හැන්සාඩ් වාර්තාවල සටහන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නීත්‍යානුකූලව නිකුත් කර ඇති බලපත්‍රයක් යනු නීතිමය ලියවිල්ලක් බවත්, එය දේශපාලනික වශයෙන් අකමැති වුවද, එය අහෝසි කිරීම සංකීර්ණ නීතිමය ක්‍රියාවලියක් බවත් රත්නායක මහතා පැහැදිලි කළේය. “රජයකට බලහත්කාරයෙන් මෙවැනි බලපත්‍ර අවලංගු කළ නොහැකි නමුත්, ඒ සම්බන්ධයෙන් ගත හැකි පරිපාලනමය පියවර ඇත” යැයි ඔහු පැවසීය

සභානායක බිමල් රත්නායක මහතා මින් ඉහත පාර්ලිමේන්තුවේදී හෙළි කළේ 2024 ජනවාරි 1 වන දින සිට ඔක්තෝබර් 6 වන දින දක්වා කාලය තුළ සුරාබදු බලපත්‍ර 361ක් නිකුත් කර ඇති බවයි. මීට අමතරව එෆ්.එල්.4 (වයින් ස්ටෝස්) බලපත්‍ර 172ක්ද ඇතුළත් වන බව ඔහු සවිස්තරාත්මකව දැක්වීය.

පළාත් අනුව බලපත්‍ර බෙදී ගොස් තිබුනේ මෙසේය:
– බස්නාහිර පළාත: 110- දකුණු පළාත: 48- උතුරු පළාත: 32 – නැගෙනහිර පළාත: 22 – මධ්‍යම පළාත: 45 – උතුරු මැද පළාත: 14 – වයඹ පළාත: 30 – ඌව පළාත: 30 – සබරගමුව පළාත: 30

මේ බලපත්‍ර ලබාගත් අය ප්‍රසිද්ධ කළ පසු, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම බලපත්‍ර කිසිවක් නොමිලේ ලබා නොදුන් බවත්, ඒවා විකිණීමෙන් රාජ්‍ය ආදායමට සැලකිය යුතු මුදලක් එකතු කර ගැනීමට හැකි වූ බවත්ය. බංකොලොත්ව තිබූ ආර්ථිකය ගොඩනැගීම සඳහා දිගුකාලීන දැක්මකින් යුතුව මෙම ක්‍රියාවලිය සිදු කළ බව ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *