රට අරාජික කරන්න වැඩ කළ මාධ්‍ය ජාල හිමිකරුවකු යළිත් කරළියට එන්න හදනවා

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් 75%කට මෙරට මාධ්‍ය ජාල හිමිකරුවකු විසින් සිය ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා මුදල් දී ඇති බව ‘සිව් හෙළේ සිත’ ව්‍යාපාරයේ නිර්මාතෘ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. හෙට්ටිආරච්චි මහතා මේ බව සදහන් කළේ කොළඹදී ඊයේ (5) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට මෙන්ම තවත් කිහිප දෙනකුට මුදල් දීමට ඒ මාධ්‍ය හිමිකරුට නොහැකි වූ බවත්, එහෙත් ඔහු විසින් අරගලය ඇති කිරීමට මුදල් දුන් බවත් ඒ මහතා කියා සිටියේය. ශ්‍රී ලංකාව තුළ අරගලයක් ඇති කර, රට අරාජික කිරීමට වසර දහයක පමණ කාලයක සිට ඔහු සැලසුම් කළ බවත්, ඉදිරියේදීද ඔහු විසින් කුමන ක්‍රමන්ත්‍රණයක් සැලසුම් කර ඇතිදැයි සිතාගත නොහැකි බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය. මේ වන විට ඔහු දේශපාලන පක්ෂයක් ගොඩනඟමින් ඒ හරහාද පාර්ලිමේන්තු බලය ඇල්ලීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව පැවැසූ ඒ මහතා ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව පැවසීය.

“මම මේ මාධ්‍ය ජාල හිමිකරු ගැන හෙළි කරන්න කාලයක් තිස්සේ උත්සහ ගත්තා. ඇතැම් විට මම ජාතිවාදය අවුස්සන්න හදනවා කියලා චෝදනාවක් එල්ල වෙන්න ඉඩ තිබුණා. ඒකයි මම මේ තරම් කාලයක් මේ කරුණු හෙළි කරන්න ප්‍රමාද වුණේ. මම ඔහු ගැන ඇතැම් පුද්ගලයන් දැනුවත් කළත් ඔවුන් ගණන් ගත්තෙ නැහැ. ඒකට හේතුව මේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිරිසකට ඔහු මුදල් දී තිබෙනවා. ඒ වගේම ඔහු ක්‍රමයෙන් මාධ්‍ය ආයතන අයිති කරගන්න කටයුතු කළා. ඒ හරහා දැන් පුළුල් ප්‍රචාරයක් ගනිමින් ප්‍රතිරූපය හදාගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම ඔහුගේ බලාපොරොත්තුව යම් පිරිසක් පාර්ලිමේන්තුවට යවලා, ඉන් පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් යොදවා තමන්ගේ පැත්තට අරගෙන පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇල්ලීමටයි. මොහුගේ ක්‍රියාදාමයෙන් අපේ රටේ ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන අවධානය යොමු කර, සොයා බලන්න කියළා. මේ පුද්ගලයා මුදල් යොදවා අරගලයක් කර රට අරාජික කළා වගේ වත්මන් ආණ්ඩුවත් ආරජික කරන්න පුළුවන්,” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *