රජය විසින් මහ කන්න‍යේ වී තොග මිලදී ගැනීමේ වැඩසටහන ඇරඹේ

2019/2020 මහ කන්න‍යේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීමේ කටයුත්ත මේ වන විට රජය විසින් ආරම්භ කර ඇත.

මෙවර වී ගොවියාට විශේෂ වරප්‍රසාදයක් ලෙස ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලට ගැනීම සිදු කරනු ලබයි. මීට පෙර කන්න වලදී රජය මඟින් මිලදී ගනු ලැබුවේ තෙතමනය 14% ක් හෝ ඊට අඩු වී පමණී. නමුත් මෙවර උපරිම තෙතමනය 22% දක්වා ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගැනීමද සිදු කරනු ලැබේ.

පසුගිය වසර වල නාඩු වී කිලෝ එකක් රු.38 කටත්, සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රු.41 කටත් මිලදී ගත් අතර මේ වනවිට සියළුම වර්ගයේ වී කිලෝ එකක් සඳහා රු.50ක් වැනි ඉහල මිලක් රජය විසින් ගෙවීමට කටයුතු යොදා ඇත.

ගොවීන්ගේ පහසුව උදෙසා පහත ආකාර දෙකට වී මිලදී ගැනීම සිදු කරනු ලැබේ.

  1. වී අලෙවි මණ්ඩලය හරහා උපරිම තෙතමනය 14% කින් යුතු ප්‍රමිතියෙන් යුත් වී මිලට ගන්නා අතර එම වී සඳහා කිලෝ ග්‍රෑම් එකකට රු.50 ක් ගොවීන්ට ලබා දෙනු ඇත.
  2. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති හරහා ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලදී ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව තෙතමනය 14% ට වැඩි 22% ට අඩු වී කිලෝ ග්‍රෑම් එකක් රු.44 කට මිලදී ගැනීමට කටයුතු කර ඇත.

එසේම, මෙම ක්‍රියාමාර්ගය තුල තෙතමනය 14% ක් වු නිසි ප්‍රමිතියෙන් යුත් වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 කටද මිලදී ගනු ලැබේ.

එක් ගොවියෙකුගෙන් වගා කර ඇති භූමි ප්‍රමාණය අනුව මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය පහත දැක්වේ.

වගා කර ඇති භූමි ප්‍රමාණය මිලදී ගන්නා උපරිම වී ප්‍රමාණය (Kg)

අක්කර 1 දක්වා 1,000 Kg

අක්කර 1 – 3 දක්වා 3,000 Kg

අක්කර 1 – 5 දක්වා 5,000 Kg

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආරම්භක පියවර සඳහා රුපියල් මිලියන 3,830 ක බැංකු අරමුදල් මේ වන විටත් වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සැපයීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන ඇති අතර රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන සතු ගබඩා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු ගබඩා පහසුකම් ද සුදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *