රජගෙදරටත් පාපැදියෙන් යන අගමැති – රටේ ජනගහනයටත් වඩා පාපැදි වැඩිවෙයි (Video)

රජ ගෙදරටත් බයිසිකලයෙන් යන එන ලොව එකම අගමැතිවරයා පිළිබඳ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා ඔස්සේ පළවෙයි. දිනපතාම මැතිසබයට මෙන්ම රජගෙදරටත් පාපැදියකින් ගමන් කරමින් පාපැදිය ජනතා වාහනය බවට පත්කිරීමේ ව්‍යාපෘතියට උර දී සිටින මෙම අගමැතිවරයා නෙදර්ලන්තයේ අගමැති මයික් රට්චිය.

2017 වසරේ බලයට පත්වූ විට තමන් අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව නිල වශයෙන් දැනුම් දෙන්නට රටේ රජුවූ විලියම් ඇලෙක්සැන්ඩර් හමුවන්නට නෙදර්ලන්තයේ නූර්දියැංදේ මාලිගයට මයික් රට්චි ගියේද පාපැදියෙනි. ඔහු ඇෆ්ගනිස්ථානයට ගිය අවස්ථාවක හමුදා කඳවුරු බලන්නට ගියේද බයිසිකලයෙනි. ඒ ආරක්ෂාව පිළිබඳවද නොතකමිනි. මෙම බයිසිකලයට ඇති ලැදියාව නෙදර්ලන්ත ජාතිකයන්ට නම් එතරම් පුදුමයක් නොවේ. ඒ තරමටම නෙදර්ලන්ත ජාතිකයන් බයිසිකලයට සමීපය. ලැදිය.

වසර ගණනාවක සිට පාපැදිය ජනතා වාහනය කිරීමට එරට රජය සෑම උත්සාහයක්ම ගනිමින් සිටී. නෙදර්ලන්ත බසින් පාපැදිය හඳුන්වන්නේ “Fiets” යනුවෙනි. ඒ අනුව රටපුරා පා පැදි පැද යන කිලෝමීටර් ගණන හෙවත් “fietkilometers” ගණන ක්‍රමයෙන් වැඩි කරමින් මුළු රටම පාපැදිලන්තයක් හෙවත් “fietsland” බවට පත්කිරීම රජයේ ව්‍යාපෘතියකි.

මෙසේ පාපැදියෙන් නිල ගමන් යන නෙදර්ලන්ත අගමැති මයික්ගේ වයස අවුරුදු 52කි.  අලුත් අදහස් දරන ඔහු සිය කඩිසර භාවය පෙන්වමින් 2010 වසරේදී එරට 50වැනි අගමැති ලෙස වැඩ ඇරඹීය. ඔහු සිය 3වැනි ධූර කාලය ගතකරමින් සිටින අතර මේ වනතුරු ජනතා ප්‍රසාදය නොකඩවා ලත් අගමැතිවරයෙකි. පාපැදිය ජනතා වාහනය බවට පත්කිරීමේ රජයේ ව්‍යාපෘතිය මේ වනවිට වර්ධනය වී ඇත්තේ එරට අභ්‍යන්තර සංචාර සඳහා පාපැදි භාවිතය 27%කින් ඉහළ නැඟීමෙනි. නාගරිකවද පාපැදිය ඉතා ජනප්‍රිය වාහනයක් වී ඇත. අගමැතිවරයා බලයට පැමිණීමත් සමග එරට පාපැදියෙන් යාහැකි මාර්ග සංඛ්‍යාව ඉහළ ගිය අතර එය කිලෝමීටර් 35000කට වැඩිවේ. ලොව විශාලතම පාපැදි නැවතීමේ භූගත අංගනය ඇත්තේද මෙම උට්රැච්ට් නගරයේය. රජය පාපැදි බදුද අඩුකළ අතර ඒ අනුව පාපැදි අලෙවිය ඉහළ ගියේය. රටේ ජනගහණය ලක්ෂ 170ක් පමණ වන අතර රට තුළ පාපැදි ලක්ෂ 2250ක් පවතී. පාපැදි භාවිතය හේතුවෙන් වසරකට මරණ 6000ක් පමණ අඩුවන බව නවතම වාර්තාවලින් සොයාගෙන ඇත. එය දියවැඩියා මෙන්ම හෘද රෝග හා රුධිර නාල ආශ්‍රිත රෝග අඩුකිරීමට මෙන්ම මානසික වර්ධනයටද වැදගත්වේ. මේ හේතුවෙන්ම නෙදර්ලන්ත රජයට වසරකට ඩොලර් ලක්ෂ 200ක සුවසේවා සඳහා වැයවන මුදලක් ඉතිරිවන බවද වාර්තාවේ. පරිසරය රැකීමටද මෙය දායකවන අතර කිලෝමීටරයකට කාබන්ඩයොක්සයිඩ් ග්‍රෑම් 150ක් බැගින් වායුගෝලයට එක්වීම එමගින් වැළකේ. (මූලාශ්‍ර – දේශය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *