මෙරට එල්එන්ජී සැපයුම අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළ කරමින් පැය 48ක වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසීය.
ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමඟ බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසු ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා එසේ කියා සිටියේය.
“ආණ්ඩුව අපිට කියනවා, වැඩ වර්ජනයකට පලයල්ලා, අඳුරේ තියපල්ලා එතකින් මෙහා අපි මේ නරුම ප්රතිපත්තිය මේ ගිවිසුම හකුළා ගන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ජනතාවට කියනවා. මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා” යැයි හෙතෙම කීවේය.
අමෙරිකානු නිව් ෆෝට්රස් එනජි සමාගම යුගදනවි බලාගාරයේ කොටස් මිලදී ගැනීමට අදාළ අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදල නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී මෙරටට ලැබීමට නියමිත බව මහ බැංකුව පවසයි.