යාපනය සහ කිලිනොච්චි දිස්ත්රික්කවල අලුතින් මත්පැන් අලෙවිසල් ආරම්භ කිරීමේ යෝජනාවලට ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්රී ශානක්යන් රාසමාණික්කම් දැඩි විරෝධය පළ කර තිබේ. උතුරු පළාතේ සංවර්ධනය සහ ජනතා සුබසාධනය ප්රමුඛතාවක් කරගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්රශ්න මතු කරමින් මන්ත්රීවරයා පෙන්වා දුන්නේ, යාපනයේ සහ කිලිනොච්චියේ නව මත්පැන් අලෙවිසල් ආරම්භ කිරීමට එරෙහිව ජනතාව විරෝධය පළ කරන බවයි. යෝජිත ස්ථාන පාසල්, ආගමික ස්ථාන සහ නේවාසික ප්රදේශවලට ආසන්නව පිහිටීම සම්බන්ධයෙන්ද ඔහු අවධානය යොමු කළේය.
උතුරු පළාතේ සංවර්ධනය යනු මත්පැන් අලෙවිසල් සංඛ්යාව ඉහළ නැංවීම නොව, ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම, රාජ්ය සේවා ශක්තිමත් කිරීම සහ ආර්ථික අවස්ථා පුළුල් කිරීම බව මන්ත්රීවරයා අවධාරණය කළේය.
2024 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පාලන සමයේදී මත්පැන් බලපත්ර 361ක් නිකුත් කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන්ද ඔහු රජයෙන් ප්රශ්න කළේය.
එම බලපත්ර නිකුත් කිරීම සඳහා නිර්දේශ ලබාදුන් දේශපාලනඥයන්ගේ නම්, බලපත්රවලින් ප්රතිලාභ ලැබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු, අක්රමිකතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්රතිඵල සහ පසුව අවලංගු කළ බලපත්ර සංඛ්යාව හෙළි කරන ලෙසද රාසමාණික්කම් මන්ත්රීවරයා ඉල්ලා සිටියේය.
විශේෂයෙන් මඩකලපුව දිස්ත්රික්කයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය ව්යාප්ත වී ඇති බව පෙන්වා දුන් ඔහු, ඒවා වැළැක්වීම සඳහා නීතිය දැඩිව ක්රියාත්මක කළ යුතු බවත්, නැවත නැවත වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පැනවිය යුතු බවත් පැවසීය.
නීත්යනුකූලව නිෂ්පාදනය කරන මත්පැන් සඳහා පනවා ඇති ඉහළ බදු හේතුවෙන් පාරිභෝගිකයන් අඩු මිලැති නීති විරෝධී මත්පැන් වෙත යොමුවන්නේද යන්න පිළිබඳවද ඔහු ප්රශ්න කළේය. එවැනි තත්ත්වයක් මත්පැන් ආශ්රිත සෞඛ්ය අවදානම් ඉහළ නැංවීමටත්, මහජන සෞඛ්ය සේවාවට අමතර බරක් පැටවීමටත් හේතු විය හැකි බව මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
2025 සහ 2026 වසරවල නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැරදි සහ නැවත නැවත එවැනි වැරදි සිදුකරන පුද්ගලයන් පිළිබඳ දිස්ත්රික් මට්ටමේ සංඛ්යාලේඛන ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. එමෙන්ම 2024 සැප්තැම්බර් මාසයේ සිට යාපනය සහ කිලිනොච්චි දිස්ත්රික්කවල යෝජනා කර ඇති, අනුමත කර ඇති හෝ නිකුත් කර ඇති මත්පැන් බලපත්ර පිළිබඳ විස්තර ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
මත්පැන් බලපත්ර නිකුත් කිරීමේ ක්රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම, ජනතා විරෝධතා සැලකිල්ලට ගැනීම සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය මැඩපැවැත්වීම සඳහා ක්රියාමාර්ග ශක්තිමත් කිරීම රජයේ වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.
මන්ත්රී ශානක්යන් රාසමාණික්කම්ගේ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර පැවසුවේ, වැරදිකරුවන්ට පනවන දඬුවම් ඉහළ නැංවීම සඳහා සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත් දැනටමත් සකස් කර ඇති බවයි. ඒ සඳහා අවශ්ය ක්රියාවලියද ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.
දැනට පවතින ආඥාපනතේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කර ඇති බව පැවසූ නියෝජ්ය අමාත්යවරයා, අවශ්ය නීතිමය සංශෝධන ඊට ඇතුළත් කිරීමට නියමිත බවත්, අදාළ සංශෝධන ඉක්මනින් අනුමත කර ගැනීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පැවසීය.


