මොනවාද මේ අයිස් කියන්නේ

ක්‍රිස්ටල් මෙත්… ලොව මිලෙන් වැඩිම මත්ද්‍රව්‍ය බව ප්‍රකටය. එය මෙරට දී අපට හුරු පුරුදු නම වන්නේ “අයිස් මත්ද්‍රව්‍ය”ය කියන වචනයයි.

ක්‍රිස්ටල් මෙත් නොහොත් අයිස් මීට වසර දෙකකට පමණ පෙර ලංකාවට ආගන්තුක වුවත් දැන් නම් මෙය සුලභ වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කෙරෙනවා
නමුත් වෙනත් මත්ද්‍රව්‍ය තරමටම ව්‍යාප්ත වී නැත. ලංකාවේ “අයිස්” නමින් හඳුන්වන මෙහි විද්‍යාත්මක නාමය Ethamphetamine නම් වේ. යුරෝපීය රටවල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍යයක් වන මෙය කෘත්‍රිම නිෂ්පාදනය කරන්නක්. වීදුරු කුඩු වැනි පෙනුමින් යුතු මේවා මෑතක දී ලංකාවට පැමිණ ඇතත් භාවිත වන්නේ කොළඹ, උණවටුන, හික්කඩුව සහ බේරුවල ප්‍රදේශවල බවට තොරතුරු වාර්තා වී ඇත.

ක්‍රිස්ටල් මෙත්, එසේත් නැතිනම් අයිස් මත්ද්‍රව්‍ය විද්‍යාත්මක වශයෙන් මෙත්ඇම්පෙටමීන් ලෙස නිෂ්පාදනය කොට ඇත්තේ 1893 වසරේදී බවට වාර්තා වේ. පසුව මේවා දෙවැනි ලෝක යුද සමයේ සෙබලුන්ගේ ක්‍රියාශීලීත්වය නංවන උත්තේජකයක් වශයෙන් භාවිත කර ඇති බවටද සඳහන්ය. මෙම මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් අධික ක්‍රියාශීලීත්වයක් ඇතිවන බවත් සිරැර ශක්තිමත් ජවසම්පන්න බවකින් පිරෙන බවත් දැඩි ආත්ම විශ්වාසයක් දැනෙන බවත් කියති. එමෙන්ම සතුට හා ආත්ම විශ්වාසය පමණ ඉක්මවා දැනෙන බවත් මේවා ශරීරගතවූවන්ගේ හැසිරීම පමණ ඉක්මවූ කලබලකාරී ගතියක් පෙන්නුම් කරන බවත් කියති. නමුත් යථාර්තය නම් මේ සියලු සැප සහ මත්බව තාවකාලික බවයි. නමුත් සෙසු මත්ද්‍රව්‍යවලට වඩා අයිස් වලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය අධික බව වාර්තා වේ. මෙසේ තාවකාලික වින්දනයක් ලබාදෙන මත්ද්‍රව්‍ය මායාව වෙනත් මත්ද්‍රව්‍යයන්ට වඩා මිනිස් සිරුරට දරුණු ලෙස හානි පමුණුවණ අතිශය භයානක දෙයකි.

දින දෙක තුනක් භාවිත කළ විට අයිස් වලට ඇබ්බැහි වීම ක්‍රම ක්‍රමයෙන් සිදුවේ. එමඟින් නින්ද අහිමි වීම, වමනය, හිසරදය, කෑම අරුචිය, මානසිකත්වය විකෘති වීම, සිරුරේ පටක විනාශය මෙන්ම හෘදයාබාධ වැළඳීමේ අවදානම පවතී. පටක විනාශ වීම හරහා සිරුර ක්ෂය වීම, මුඛය විකෘති වීම, දත් ගැලවී වැටීමේ සිට මොළයට හානිකර සිදුවීම් රැසක් සිදුවන මාරක මත්ද්‍රව්‍යයක් වශයෙන් අයිස් ප්‍රසිද්ධය. සෙසු මත්ද්‍රව්‍යවලට වඩා මෙමගින් සිදුවන සමාජ හානිය බරපතළය.

දරුණු ආබාධ රාශියකට මඟකියන අයිස් වල මත්ගතිය අධිකය. මේ හේතුවෙන් බොහෝ පිරිස් ඊට ඇබ්බැහිවේ. එහි මත් බව පැය 12ක් තරම් පවතින බවද සඳහන්ය. අයිස් බරපතළ ලෙස ව්‍යාප්ත වීමට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ එය ක්‍රම කීපයකට භාවිත කිරීමට හැකි නිසා බව කියති. ඒ අනුව එන්නත් කිරීම, ගිලීම හෝ දුම් වශයෙන් භාවිත වන බව සඳහන්ය.
වාර්තා වන ආකාරයට ලොව පුරා මිලියන 27 කට අධික පිරිසක් අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටිති. ඔවුනට මුහුණ දීමට සිදුව ඇත්තේ කායික හෝ මානසික වශයෙන් නැවත ගොඩ ඒමට නොහැකි භයානක තත්ත්වයකටය. ඔවුන්ට සිරුර පාවෙන බව දැනීම, තමාට අධික කාය බලයක් ඇතැයි දැනීම සහ මායාකාරී දර්ශන පෙනීම ආදිය මානසික වශයෙන් උදාවන ගැටලුය. එමෙන්ම මළබද්ධය, ශරීරය වෙව්ලීම, දත් හා ඇටකටු දිරායාම සහ අවයව විකෘති වීම කායික වශයෙන් සිදුවන බරපතළ හානි අතර වෙයි.

ලංකාවේදී ක්‍රිස්ටල් මෙත් එසේත් නැතිනම් අයිස් ග්‍රෑම් එකක් රුපියල් 10,000ක් හෝ ඊටත් වැඩි මිලකට අලෙවි කෙරේ. මෙරට ඇතැම් ධනවත් තරුණ තරුණියන්, රාත්‍රී සමාජ ශාලා, බීච් පාටි සහ රාත්‍රී සාදවලද, ඇතැම් ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව ද අලෙවි කෙරෙන බවට වාර්තා වේ. හෘදයට දැඩි අවදානම් සහිත මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන මෙරට තරුණ තරුණියන් සාදවලදී පැය ගණනක් එකදිගට නර්තනයේ යෙදෙති. මෙරට ජාවාරම සිදුකරන ඇතැම් පිරිස් කොළඹ නගරයේ මහල් නිවාසවල ඉහළ මාලයන් පූර්ණ වශයෙන් වෙන්කරවාගෙන සති අන්තයේ දී සාද පවත්වා එහිදී ක්‍රිස්ටල් මෙත් අලෙවි කරන බවද හෙළි වී ඇත.

ක්‍රිස්ටල් මෙත් ලොව භයානකම මත්ද්‍රව්‍යයක් වශයෙන් සැලකෙන අතර ලංකාවේ ඊට එරෙහි නීතියද බරපතළය. ළඟ තබාගැනීම හෝ අලෙවිය පිළිබඳ වරදකරැ වන්නේ නම් එය ඇප ලබාදිය නොහැකි තරම් දරුණු වරදකි. අවම වශයෙන් වසර 10ත් 15ත් අතර සිරදඬුවම් නියම කිරීමටද එය ප්‍රමාණවත්ය. මෙම මත්ද්‍රව්‍ය භාවිතය කෙටිකාලීන හා තාවකාලික වින්දනයක් බැවින් එහි අහිතකර පලවිපාක දිගුකාලීනව විදවීමට සිදුවන බැව් තරයේ මතකයේ තබාගත යුතුදෙයකි. ආර්ථික මෙන්ම සමාජීය පරිහාණිය ඇති කරන මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීම හා තරුණ පරපුර මේ ව්‍යසනය පිළිඹද දැනුවත් කිරීම බුද්ධිමත් ඔබගේ වගකීමය. මෙම සටහනින් පෙන්වාදීමට වෑයම් කළේත් අයිස් නම් මත්ද්‍රව්‍යයේ සැගවුණු තිත්ත ඇත්තයි. ඒ තිත්ත ඇත්ත පිළිඹදව මෙම ඡායාරූප මගින් වින්ශ්චය කරගැනීමට බුද්ධිමත් ඔබට හැකිවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *