කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක හිතාමතා ගැටුණු බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් 44 හැවිරිදි බස් රියදුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, අංක 120 මාර්ගයේ ධාවනය වන හොරණ – කොළඹ සුඛෝපභෝගී බස් රථයක් පදවමින් සිටි සැකකරු, කහතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙට්‍රෝ බස් රථයක ඉදිරිපස දකුණු පස කොටසේ ගැටී ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.
අනතුරින් මෙට්‍රෝ බස් රථයේ දකුණු පස පැති කණ්ණාඩියට සහ ඊට පහළින් පිහිටි ජනේලයකට හානි සිදුව ඇති අතර, එමගින් රුපියල් 342,000ක පමණ අලාභයක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ. මෙම සිද්ධිය සීසීටීවී කැමරා දර්ශනවලද සටහන් වී ඇති බව වාර්තා වේ.
හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ඔක්තෝබර් 10 වැනිදා පොදු දේපළ පනත යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


