Sunday, 22 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මිනිස්-අලි ගැටුම පාලනය කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කෙටුම්පත දෙසැම්බර් 20 පාර්ලිමේන්තු කමිටුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මිනිස්-අලි ගැටුම (HEC) කළමනාකරණය කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ මූලික කෙටුම්පත 2026 දෙසැම්බර් 20 වැනිදා වන විට පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ ප්‍රගති සමාලෝචන හා ප්‍රතිපත්ති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

වන අලින්ගේ ආරක්ෂාව මෙන්ම ගැටුමෙන් පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව හා ජීවනෝපාය තහවුරු කරන අතරම විද්‍යාත්මක, සමාජ-ආර්ථික සහ පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින් මිනිස්-අලි ගැටුමට විසඳුම් සෙවීම මෙම යෝජිත ක්‍රියාකාරී සැලැස්මේ අරමුණයි.

පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින්, ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ වගකීම පැවරී ඇති ක්‍රියාකාරී කමිටුවේ සේවය කරන විශේෂඥයින් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.

සංකල්පීය රාමුව සහ ප්‍රායෝගික යෝජනා

සාකච්ඡාව ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍ය ජයකොඩි මහතා අවධාරණය කළේ, ක්‍රියාකාරී කමිටුව විසින් අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කර ඉතිරි වැඩකටයුතු අවසන් කිරීම සඳහා පැහැදිලි කාලරාමු සකස් කිරීමේ අවශ්‍යතාවයි.

ක්‍රියාකාරී කමිටුවේ සභාපති සහ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඩී.පී.සී. උදය කුමාර මහතා කමිටුවේ කටයුතු පිළිබඳ යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කළ අතර, අලි ඇතුන් පිළිබඳ විශේෂඥ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා යෝජිත ජාතික ක්‍රියාකාරී සැලැස්මේ සංකල්පීය රාමුව පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කළේය.

රක්ෂිත ප්‍රදේශ තුළ සිදුවන අනවසර මිනිස් ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව පාලනය කිරීම සහ අලින්ට ප්‍රමාණවත් ආහාර හා ජල මූලාශ්‍ර සපයන පාරිසරික සංරක්ෂණ හා පෝෂණ වැඩසටහන් හරහා අලි වාසස්ථාන වැඩිදියුණු කිරීම ද මෙහිදී ඉදිරිපත් වූ යෝජනා අතර විය.

විදුලි අලි වැට සහ අලි පාලන ඒකක

දිවයින පුරා විදුලි අලි වැට ඉදිකිරීම හා නඩත්තු කිරීම, මුරපොළවල් ස්ථාපිත කිරීම සහ අලි පාලන ඒකක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට සිදු කරනු ලබන කටයුතු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

මූලික කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික ක්‍රියාකාරී සැලැස්ම අවසන් කිරීම සඳහා අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ රැස්වීමක් කැඳවීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය විය.

ඔබේ අදහස