මහ පාරේ පුද්ගලයෙකු කැපූ සැකකරු අත්අඩංගුවට

නගරයක් මැද පුද්ගලයෙකුව කපා කොටා බරපතළ තුවාල සිදුකර පළාගිය සැකකරුව කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙනෝදාහක් දෙනා බලාසිටියදී ඉකුත් 13 වනදා පස්වරුවේ කළුතර නගර මධ්‍යයේදී බස් කොන්දොස්තරවරයෙකුට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකි.

පහරදීම සඳහා භාවිත කළ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පහරදීම සිදුකළ දින දහවල් කාලයේදී කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල පාසල් යන වයසේ සිසුන් පිරිසක් අතර ගැටුමත් හටගෙන ඇත.

එම ගැටුම සමථ කිරීමට මැදිහත්වූ මෙම බස් කොන්දොස්තරවරයා එක් සිසුවෙකුට කම්මුල් පහරක් දී පිටව යන ලෙස අවවාද කර තිබේ.

එයින් උරණවූ එක් සිසුවෙක් තවත් මිතුරන් දෙදෙනෙකු සමග පැමිණ දැනට රෝහල්ගතව සිටින පුද්ගලයාට එළව එළවා පහරදී ඇත.

බස් කොන්දොස්තරවරයාගේ දෙඅත්වලට බරපතළ හානි සිදුවී ඇති අතර ඔහුට සැත්කම් කිහිපයක් සිදුකිරීමට අවශ්‍ය බව කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම පහරදීමට පැමිණි පුද්ගලයින් තිදෙනාගෙන් ප්‍රධාන සැකකරු මේ වනවිට කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීම සිදුකළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *