ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක වියදම් හා ආදායම් වාර්තා භාර නොදුන් අපේක්‍ෂකයන් 1042කට හා පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනකුට එරෙහි විමර්ශන වාර්තා ලබන 31 වැනිදාට පෙර නීතිපති වෙත ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව මැතිවරණයක ප්‍රතිඵල නිකුත් කර දින 21ක් ඇතුළත පිළිගත් දේශපාලන පක්‍ෂයේ/ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්‍ෂකයාගේ ආදායම් හා වියදම් සම්බන්ධව වාර්තා මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරියා වෙත භාරදීම සිදු කළ යුතු වෙයි.
නමුත් ඉහත ප්‍රතිපාදන ප්‍රකාරව ඉකුත් මහ මැතිවරණය හා අනුගත මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර දීම සිදු කළ යුතු නමුත් එම වාර්තා මෙතෙක් භාර දීමට ක්‍රියානොකරන ලද අපේක්‍ෂකයන් 1042කගේ සහ පක්‍ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබිණි.
එම වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව කොට්ඨාස භාර නිලධාරීන් විසින් 2025.01.31 වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කිරීමට පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.