අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිකූඩුවේ සිනාසෙමින් සිටි අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටී මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු විත්තිකූඩුවේ සිටි කාලය තුළ ඔහු මානසික ව්‍යාකූලතාවයකින් සිටින බවට අධිකරණය නිරීක්ෂණය කළ බවය.
ඒ අනුව සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් පන්නිපිටිය වීරමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නමින් පෙනීසිටින මහින්ද කොඩිතුවක්කු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
” ස්වාමීනි, මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) සහ (ආ) වගන්ති, පරිගණක අපරාධ පනත සහ මුදල් විශුද්ධිකරණ පනතේ විදි විධාන ප්‍රකාරව. 2012දී ඊජිප්තුවට ගිය මේ තැනැත්තා රැකියාව ලෙස කරලා තියෙන්නේ අමෙරිකානු කඳවුරක සුනඛයන් බලාගැනීම. පසුව වීසා කල්ඉකුත්වී වසර 04ක් රැඳී සිටි මොහු එරටින් පිටුවහල් කර තිබෙනවා. බිරිඳ සහ මොහුගේ නිවුන් දරුවන් ඒ රටේ ඉද්දී මොහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඩොලර් 450ක දඩයකුත් ගෙවලා. ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු රැඳී සිටි පන්නිපිටියේ කුලී නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයෙකුගේ බිරිඳකට අයත් නිවසක්. ”
සැකකරු සිදුකරන දේශන සහ ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන්ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කරුණු දැක්වූවා.
” ස්වාමීනි මොහු කියන පරිදි මොහුට මේ විශේෂ විඥානය පහළවෙලා තියෙන්නේ 2016දී. පරිහානියට පත්වෙලා තියෙන ශ්‍රී ලංකාවේ වැසියන්ට නිවන අවබෝධ කරලා දෙන්න ඔහු වැඩම කළා කියලයි සැකකරු කියන්නේ. මොහුට රහතුන් වහන්සේ 41ක් ඉන්නවා කියලා ඔහු කියනවා. ඒ වගේම අනුගාමිකයන් ලක්ෂ 03ක් ඉන්නවාලු. ගුවන්තොටුපලේ සිට කැලණිය පුදබිමට එන්න ලිමෝසින් කාරය කුලී පදනමට ගන්න රුපියල් 25,000ක් වැයකරලා තියෙනවා. කැලණිය පුදබිමේ විකාරරූපි රංගනයක් කරලා තියෙන්නේ කිසිදු අවසරයක් නොමැතිව. අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක් මොහු කළ සමස්ත රංගන ව්‍යාපෘතියටම රුපියල් ලක්ෂ 15ක් පමණ වැයකර තිබෙනවා. මොහු කියන අගසව්වරු අතර ඉන්නවා බඩල්කුඹුර පොලිසියේ පුන්‍යසිරි කියන සැරයන්වරයා, වෛද්‍යවරු දෙදෙනෙක් සහ ඔස්ටේලියාවේ පදිංචිකාරියක්”
අනතුරුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ලබාදීමට එරෙහිව සිය විරෝධය මෙලෙස ප්‍රකාශ කළේය.
” ස්වාමිනි ත්‍රෛනිකායික මහානාහිමිවරු ඊයේ නිවේදනයක් නිකුත් කළා බුදු දහම සුරක්ෂිත කිරීම රාජ්‍ය සතු වගකීමක් වන බැවින් මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පසුගිය කාලය පුරාවටම දේවගැතිවරු, දිව්‍යපුත්‍රයෝ හතු පිපෙන්නා වගේ පහළ වුණා. දැන් මේ කියන බෝධිසත්වයා ප්රාතීර්භූතවුනාට පස්සේ කළුතරින් තවත් බෝධිසත්වයෙක් පහළවෙලා. මේ සියල්ල රංගන. පසුගියදා අධිකරණයට කරුණු දැක්වීමෙන් පස්සෙත් මොහු දේශන පවත්වලා කියලා තියෙනවා ” මාව අත්අඩංගුවට ගත්තොත් රටටම හෙණ ගහනවා කියලා” ඒ වගේම මොහු සතු සර්වඥ ඥානයෙන් නඩු විසඳන්න පුළුවන් කියලාත් මොහු කියනවා. නමුත් ස්වාමිනි මීට කළින් දේවගැතිවරුන්ට වගේම ඔය කියන බෝධි සත්වයන්ටත් අන්තිමට ඉතුරුවෙන්නේ නීතිඥ සරණං ගච්ඡාමී තමයි. ස්වාමීනි මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විශාල මහජන කැලඹිමක් තියෙන නිසා ඇප දීමට නීතිපතිවරයා විරුද්ධයි. නමුත් ස්වාමිනි අපි මෙවැනි පුද්ගලයින්ට දඬුවමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ මානසික ලෙඩුන්ට අනුකම්පා කරලා බෙහෙත් දෙන්න ඕනේ. ඒ නිසා ස්වාමිනි මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මොහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන්න කියලා. ”
අනතුරුව සැකකාර අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි තැනැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළා.
” ස්වාමිනි මෙම තැනැත්තා කිසිදු ආගමක්, ශාස්තෘවරයෙක් විවේචනය කරලා නැහැ. අනික ස්වාමීනි මොහු දැනට පහළවෙලා ඉන්න බුදුන් වහන්සේට නිගරු කරලා නැහැනේ. මොහු කියන්නේ බුදුවෙන්න ඉන්න බෝධිසත්වයෙක් ගැන. පහළවෙන්න ඉන්න බුදුවරු ගැන අපිට කියන්න බැහැනේ ස්වාමිනි. මෙතුමා බුදුවෙයිද, මම බුදුවෙයිද කියන්න බැහැ. හෙට උදේ නැගිටිද්දී මට වුනත් බුදුවීම ගැන සිතුවිල්ලක් එන්න පුළුවන්. මොකද දුටුගැමුණු යළි ඉපදුනා කියපු රටක්නේ මේක. මම ඉල්ලා සිටින්නේ මේ තැනැත්තාගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් වරදක් සිදුව නැති නිසා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප දෙන්න කියලා. ”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ඇපමත මුදාහැරීම ප්‍රතික්ෂේප කළා.
නීති කෘත්‍යය සලකා බැලූ සම්පූර්ණ කාලය පුරාවටම විත්තිකූඩුවේ සිටිමින් විටින් විට සිනාසුනු සැකකාර අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින්නාගේ හැසිරීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝගයක් නිකුත් කළා.
” නීතිඥ මහත්වරුන්ගේ කරුණු දැක්වීම අතරතුර විත්තිකූඩුවේ සිටි විත්තිකරු දැක්වු ප්‍රතිචාර සහ ඔහුගේ අංගතුලාව අධිකරණයේ විශේෂ අවධානයට යොමුවුණා. මෙම සැකකරු මානසික ව්‍යාකූලතාවයකින් සිටිනවා කියලා අධිකරණය නිරීක්ෂණය කරනවා. ඒ අනුව මෙම සැකකරු අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලට යොමුකර මානසික වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරනවා.”
සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාව ඉදිරි නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය.