මහින්දගේ ජීවිතයට ආණ්ඩුව වගකියන්න

ලොව පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ  ආරක්ෂක නිලධාරීන් 116 ක් ඉවත්කර ඔහුගේ ආරක්ෂාව බිඳවට්ටවා ඇති බවත් එතුමාගේ ජීවිතයට යම් අවදානමක් ඇති වුවහොත් වර්තමාන රජයේ වගකිවයුතු බවත් නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ  පැවති විශේෂ මාධ්‍ය හමුවකදී  නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා එසේ පැවසීය.

රටේ ජාතික ආරක්ෂාවට අංක එක ලැබිය යුතු වුවද ජාතික ආරක්ෂාව පිළිබඳව නිසි  ඇගයීමක් නොකර ඒ පිළිබඳව විමර්ශනාත්මකව ගැඹුරු විග්‍රහයක් නොමැතිව ජාතික ආරක්ෂාව යටපත් කරන  තීන්දු රාශියක් වර්තමාන ආණ්ඩුව මේ වන විට ගෙන ඇති බවත්  උතුරු, නැගෙනහිර ස්ථාපිත කර තිබූ යුධ හමුදා කඳවුරු  කිහිපයක් ඉවත් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව  තුට්ටුවට මායිම් නොකර ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන වර්තමාන ආණ්ඩුව මාස තුනක පමණ කාලයක සිට මේ ආකාරයට කටයුතු කරන බව කී රවීන්ද්‍ර ජයසිංහිංහ මහතා ම්ලේච්ච ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යන්න මෙම ආණ්ඩුව අමතක කර ඇති බවද සඳහන් කළේය.

රජය මෙහෙයවන බටහිර සහ ඒ අවශ්‍ය කුමන්ත්‍රණකාරී බලවේගවල න්‍යාය පත්‍රයට ආණ්ඩුව ගමන් කරනවා යන්න මෙවැනි තීරණවලින් සනාථ වන බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා  ලෝකයේ පැවැති දරුණුම ත්‍රස්තවාදය  අවසන් කරපු නායකයා බව වර්තමාන ආණ්ඩුවට මතක් කරදීමට අවස්ථාවක් කර ගන්නා බවත් පැවසීය.

එතුමාව රැකගැනීම  රටක් විදිහට  රටේ ප්‍රධාන වගකීමක් මෙනම එය දේශපාලන අර්ථයක් නොවන බවත් එතුමාගේ ජිවිතේ  පිළිබඳව යම්කිසි කාරණයක තර්ජනාත්මක කාරණයක් වුනොත්  වර්තමාන රජය එහි සම්පූර්ණ වගිකීම භාරගතයුතු බවත් ඒ මහතා කීය.

අනුර කුමාර ජනාධිපතිවරයාගේ මෙම ආණ්ඩුව මාස තුනට ඉෂ්ට කළ පොරොන්දු  නොමැති බවත් වර්තමාන ආණ්ඩුව නිර්මාණය කිරීමට හේතු වූ බටහිර ඇතුළු විදේශීය බලවේග සහ දේශීය බලවේගයන්වල අවශ්‍යතා සහ වුවමනාව නිරූපණය වන  පොරොන්දු රාශියක් පසුගිය  මාස තුනකට ආසන්න කාලයක්  ආණ්ඩුව ඉෂ්ට කළ බවත් නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරු රාජ්‍ය ආයතන රැසක් ඔවුන් යටතේ තබාගෙන සිටින්නේ යැයි විවේචනය කළ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රබලයන්ට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය ආයතන 94 ක්  තමන් යටතේ තබා ගැනීම නොපෙනීම කණගාටුවට කරුණක් බවත් පසුගිය මාස තුනක පාලන කාලයක් තුළදි ජනතාවට දුන් මුලික බලාපොරොත්තු  රැසක් ආණ්ඩුව බිඳවට්ටා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *