මස්ක්, යුක්‍රේන ඉල්ලීමට බෑ කියයි

ටෙස්ලා, ස්පේස් එක්ස්, ට්විටර් ඇතුළු ලෝක ප්‍රකට සමාගම් රැසක හිමිකරු මෙන්ම, ඩොලර් බිලියන 250 ඉක්මවූ ධනස්කන්ධයක් සමග ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක්, මේ දිනවල යුක්‍රේන යුද්ධයට සම්බන්ධ කර කතාබහට ලක්වෙයි.

ඒ මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය රුසියාවට එරෙහි ප්‍රහාර සඳහා යොදාගැනීමට යුක්‍රේනය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

කළු මුහුදට මුහුණලා පිහිටි ක්‍රිමියාවේ සෙවස්ටපොල් වරාය නගරයේ රුසියානු නාවික බලඇණියට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා යුක්‍රේනය ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් පද්ධතියේ සහාය ඉල්ලා ඇත්තේ පසුගිය වසරේදී ය.

ඒ බව ඔහු හෙළිදරව් කරන්නේ ඔහුගේ නව චරිතාපදානයේ කොටස්, X අවකාශය ඔස්සේ ඉදිරිපත් කරමිනි.

යුක්‍රේනයට, රුසියානුවන්ට එරෙහි ප්‍රහාරය එල්ල කිරීම සඳහා සිය චන්ද්‍රිකා පද්ධතිය ලබාදීමෙන් යුද ක්‍රියාමාර්ගයකට සම්බන්ධවීමට තමන්ට අවශ්‍ය නොවූ බව මස්ක් ප්‍රකාශ කර තිබේ.

මේ නිසා යුක්‍රේන ඉල්ලීම හමුවේ ක්‍රිමියාව ඉහළ අභ්‍යාවකාශයේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය විසන්ධි කොට තැබීමට මස්ක් උපදෙස් දී ඇති බව වාර්තා විය.

2014 වසරේදී රුසියාවට ඈඳා ගැනුණු ක්‍රිමියා අර්ධද්වීපයේ සෙවස්ටපොල් හි රුසියානු නාවික බලඇණියක් ස්ථාපිත කළේය.

යුක්‍රේන වරාය වෙත නෞකා ප්‍රවේශය අවහිර කරන්නේ එහි සිටය.

ඊලොන් මස්ක්ගේ නව චරිතාපදානය “ඊලොන් මස්ක්” යන නමින් අද (12) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එම ග්‍රන්ථයේ මස්ක් ප්‍රකාශ කර ඇති පරිදි රුසියානු නෞකාවලට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුපුරණ ද්‍රව්‍ය පිරවූ යුක්‍රේන සබ්මැරීන ඩ්‍රෝන යානා, චන්ද්‍රිකා පද්ධතියේ සහායක් නොමැතිවීම හේතුවෙන් සංනිවේදනයෙන් ගිලිහී හානියකින් තොරව වෙරළට ගොඩගසා ඇති බවයි.

ඒ සඳහා ඉඩක් ලබාදුන්නේ නම් කළු මුහුදේ රුසියානු වරාය නගරය කුඩා පර්ල් වරායක් වනු ඇතැයි මස්ක් බිය පළ කර තිබේ.

කෙසේ නමුත් බයිඩන් පාලනය සහ අමෙරිකාවේ මිතුරු රටවල් සියල්ලම පාහේ රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට සහාය පළ කරද්දී ඊලොන් මස්ක් ගනුලැබූ පියවර ඇතැමුන්ගේ දෝෂදර්ශනයට ලක් විය.

ඊට සිට X අවකාශය ඔස්සේ පිළිතුරු ලබාදුන් ඊලොන් මස්ක් ප්‍රකාශ කළේ තමා අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකු වන අතර තමන් සතුව ඇත්තේ අමෙරිකානු ගමන් බලපත්‍රයක් පමණක් බවයි.

කුමක් සිදුවුවත් තමන් අමෙරිකාව වෙනුවෙන් සටන්කොට ඒ වෙනුවෙන් මියයාමට වුවත් සුදානම් බව මස්ක් කියා සිටියේය.

එක්සත් ජනපද කොංග්‍රසය රුසියාවට එරෙහි යුද්ධයක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් කිසිවෙකු තමා දේශදෝහියෙකු යැයි පවසන්නේ නම් දේශදෝහි වන්නේ එලෙස පවසන අයම බවත් මස්ක් සිය X අවකාශ සටහනෙන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *