දඹුල්ලේ තමා එදා ඇරඹූ උෂ්ණත්වය හා තෙතමනය පාලිත මෙරට පළමු කෘෂිගබඩා සංකීර්ණය විවෘත කිරීම ගැන තමා අවංකව සතුටු වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
ඉන්දීය රජයේ මුදල් ප්‍රදානයක් ද සහිතව ඉදි කළ මෙම සංකීර්ණයට එදා දමා තිබූ ‘ප්‍රභාෂ්වර’ නම වෙනස් කර ඇති නමුත් අරමුණ ඉටු කිරීම අගයන බවද ඔහු පවසයි.
යහපාලන ආණ්ඩුව පරාජය වීම නිසා මෙම ව්‍යාපෘතිය අපිට අවසන් කර ගැනීමට නොහැකි වුණා. පසුව, බලයට පැමිණි අයට මෙහි වැඩ අවසන් කිරීමට සැබෑ වුවමනාවක් තිබුණේ නෑ. අපි ගොඩනැඟූ ව්‍යාපාරික සැලසුමෙන් මේ ආණ්ඩුව ප්‍රයෝජනයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා. ගොවියන්ගේ එළවළු සහ පළතුරු අස්වැන්න අවශ්‍ය විට ගබඩා කරමින් කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙටි්‍රක් ටොන් 5000ක ධාරිතාවයෙන් යුතු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ගබඩා සංකීර්ණය ලෙසයි අපි මෙය ආරම්භ කළේ. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට එදා මා සමග මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ තරංජිත් සිං සාන්ධු මහතා සහභාගි වුණා.
ඉන්දීය රජයේ මුදල් ප්‍රදානයක් ද සහිතව ඉදි කළ මෙම වැඩසටහන එදා නම් කළේ “ප්‍රභාෂ්වර – ගොවි දිවියේ නව්‍ය හැරවුම” නමිනුයි.
මෙම ශීතාගාර සංකීර්ණය විවිධ උෂ්ණත්ව සහ තෙතමන මට්ටම්වලින් යුත් කොටස් හයකින් සමන්විත අතර අස්වැන්න වැඩි කාලයට ඉතාමත් සහන මිලකට මෙම ශීතාගාරයේ තම අස්වැන්න ගබඩා කිරීමේ අවස්ථාව ප්‍රදේශයේ ගොවීන්ට ලබාදීමටයි අපි සැලසුම් කළේ.