භාරත ලක්ෂ්මන්ගේ ඝාතකයා බව කියමින් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලලා

තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ ” සුද්දා ” නැමැත්තා බව පවසමින් මත්තේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් දී කප්පම් ඉල්ලූ බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි  මත්තේගොඩ පොලිසිය පවසයි .

මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙසින් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ද (21) දා සිට වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම දුරකථන ඇමතුම ඉකුත් 20 දා ලැබී තිබූ අතර  ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

එදින දහවල්  මෙරට ප්‍රධාන පෙළේ නිෂ්පාදන ආයතන කිහිපයක අලෙවි නියෝජිතවරයෙකු වන පැමිණිලිකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ,මල්ලී මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මරපු කෙනා , මගෙ නම ‘සුද්දා” ඔයා මාව දන්නවා ඇතිනේ, කොළඹ බිස්නස් කාරයෝ නම් මාව නොදන්න කෙනෙක් නෑ. ඔයාට මත්තෙගොඩ සහ දියගම වෙළඳ සැල් දෙකක් තියෙනවා නේද ?

කොළඹ අවට බිස්නස් කරන අය මට හොඳට සලකනවා . ඔයත් මට සලකන්න ඕනි , පුළුවන් නේද , ඒක ඔයා කැමති ගානකින් පටන් ගන්න පුලුවන්. එහෙම නැති වුනොත් දන්නවනේ උඹගේ අම්මට තාත්තට පවුලට දරුවොන්ට උඹව නැතිවේවි. මත්තේගොඩ මහ පාරෙ උඹව පෙනේරයක් වගේ මරල දානවා දැනගනින් ” යනුවෙන්  පවසා ඇති බව පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන්ය.

පසුව මේ සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ පැමිණිල්ලක් කර තිබූ අතර  ඇමතුම ලැබූ අංකයට පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත යළි ඇමතුමක් ගැනීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ” හරි හරි ෆෝන් එක තියපන්. මම තව දවස් දෙක තුනකින් උඹව හම්බෙන්න එනවා ” යනුවෙන් පවසා ඇමතුම විසන්ධි කර තිබූ බව පොලිසිය කියයි .

පසුව අදාල දුරකථන අංකය අන්තර්ජාලය හරහා පරීක්ෂා කිරීමේදී එහි හඳුනාගැනීමේ නාමය ලෙස සඳහන්ව ඇත්තේ ” මන්නා රමේෂ් ” යනුවෙන් බව ද පැවසේ.

මෙම සිද්ධිය වූ දා පැමිණිළිකරුගේ ව්‍යාපාරික ආයතනයකට අලුතින් සේවකයින් බදවා ගැනීම සම්බන්ධයෙන් ජාතික පුවත්පතක දැන්වීමක් පළ කර තිබූ අතර එහි සඳහන් අංකයට මෙම ඇමතුම ලැබී තිබූ බවද පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මත්තේගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර  ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ද  වෙනම විමර්ශනයක් ආරම්භ  කර තිබේ.

සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *