Monday, 23 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන ප්‍රහාරයට ලක්වූ රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගින්න නොනැවතී පැතිරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්න නිවා දැමීමට උත්සාහ ගනිමින් සිටියදීත් එය රාත්‍රිය පුරාම අඛණ්ඩව ඇවිළෙමින් පැවති බව ෆින්ලන්ත වෙරළාරක්ෂක බලකාය ඉරිදා (නොවැම්බර් 22) ප්‍රකාශ කළේය.

සෙනසුරාදා (නොවැම්බර් 21) ‘Sparta II’ නෞකාවට එල්ල වූ මෙම ප්‍රහාරය බොහෝ දුරට යුක්රේනය විසින් සිදු කරන්නට ඇති බව ෆින්ලන්ත හමුදාව පවසා ඇති අතර, පසුව එම නෞකාව ෆින්ලන්ත මුහුදු සීමාවට ගසාගෙන විත් මේ වන විට නැංගුරම් ලා ඇති බව ද සඳහන් කර තිබේ. නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනා අසල තිබූ රුසියානු නෞකාවකට ආරක්ෂිතව ඉවත් කර ඇත.

ගිනි දැල් නිවා දැමීමට සහ නෞකාවේ තට්ටුව මත ගොඩගසා ඇති බහාලුම් සිසිල් කිරීමට රාත්‍රී කාලයේදී යාත්‍රා කිහිපයක් ජල ප්‍රහාරක (Water cannons) මගින් Sparta II නෞකාවට ජලය විදින ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙරළාරක්ෂක බලකාය විසින් නිකුත් කර තිබේ.

කලාපීය ආරක්ෂක අවදානම

රුසියානු නිලධාරීන්ගේ ප්‍රකාශයන් සනාථ කරමින් ෆින්ලන්ත ආරක්ෂක හමුදා සඳහන් කළේ, රුසියාවේ කලිනින්ග්‍රෑඩ් (Kaliningrad) ප්‍රදේශය බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට රුසියාවේ ගොග්ලන්ඩ් (Gogland) දූපතට බටහිරින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී හානි සිදුව ඇති බවයි.

යුක්රේනය මෙම වසර තුළ රුසියාවේ වයඹදිග වෙරළබඩ ලෙනින්ග්‍රෑඩ් (Leningrad) කලාපය දෙසට හමුදා ඩ්‍රෝන යානා රැල්ලක් යවා ඇති අතර, ඉන් ඇතැම් යානා අසල්වැසි බෝල්ටික් රටවල ගුවන් සීමාවට ද ඇතුළු වීම හේතුවෙන් යුද්ධය නේටෝ (NATO) භූමියට පැතිර යනු ඇතැයි යන බියක් ද මතුව තිබේ.

බෝල්ටික් මුහුදේ පටු කොටසක් වන ෆින්ලන්ත බොක්කේ තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ අවදානම බැහැර කළ නොහැකි බව එස්තෝනියානු නාවික හමුදාපති ඉවෝ වාර්ක් (Ivo Vark) ඉරිදා මහජන විකාශක ERR වෙත පැවසීය. යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර අතරතුර එම ප්‍රදේශයේදීම රුසියානු යුද නෞකාවකට එල්ල වූ ප්‍රහාරයක් පසුගිය සතියේදී නිරීක්ෂණය කළ බව ද ෆින්ලන්ත හමුදාව සඳහන් කර තිබුණි.

ඔබේ අදහස