බාල බෙහෙත් 500ක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර  ඖෂධ පන්සියයකට ආසන්න  සංඛ්‍යාවක් රටේ  සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

රජයේ රෝහල් විසින් හදිසියේ  කරනු ලබන  මිලදීගැනීම්වලින්   සියයට 40ක  ප්‍රමාණයක  මෙරට ලියාපදිංචිවී නැති ඖෂධ දක්නට  ඇති බව රෝහල් අධ්‍යක්ෂවරු පිරිසක් පැවසූහ.

රෝහල් අධ්‍යක්ෂවරුන් බොහෝ අය ඖෂධ සමාලෝචන රැස්වීමේදීද  මෙම කරුණු සෞඛ්‍ය ප්‍රධානීන්ට පෙන්වා දී ඇත.

ඖෂධ නියාමන අධිකාරියේ නිසිලෙස  නැවත ලියාපදිංචි කිරීම සහ නව ලියාපදිංචි ඖෂධවල සහතිකපත් අදාළ සමාගමට ලබාදීමට  ප්‍රථමයෙන් ප්‍රධාන විධායක නිලධාරියා  අන්තනෝමතික ලෙස මිල නියාමන කිරීම මෙම තත්වයට හේතුවී ඇති බව  සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඖෂධ නිෂ්පාදනය  කර්මාන්තයක් ලෙස පවතින රටවල ඖෂධ මිල  නියාමනය කිරීම සඳහා වෙනම  ස්වාධීන ආයතනයක් සහ ඖෂධවල  ගුණාත්මකභාවය  නියාමන කිරීම සඳහා වෙන් වෙන්ව බොහෝ ආයතන පවතින බව පෙන්වා දෙන රෝහල් අධිකාරිහු    මෙරට ඖෂධ නියාමන අධිකාරි  පනතෙන්ද එසේ කටයුතු  කිරීම   සඳහා  බලතල ඇති   බව පෙන්වා දෙති

මේ අතර සැපයුම්කරුවන් අගතියට පත්වන අවස්ථාවලදී අභියාචනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් අභියාචනාධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබෙන නමුත් අදාළ නිලධාරීන් එසේ නොකර අදාළ සීමාවෙන් පිට තම අභිමතය පරිදි කටයුතු කරන බවද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි තත්වයක් පවතින බවයි.

එසේම අද ඖෂධ නියාමන අධිකාරිය මාෆියා මූලස්ථානයක් බවට පත්ව ඇති බවත් එහි විධායක නිලධාරීන් හැසිරෙන්නේ පෞද්ගලික බූදලයක්  අතට ගත් පිරිසක් සේ  බවත් ඔහු කීවේය

ඖෂධ සමාගම්වලින් විශාල වශයෙන් මුදල් අය කළද මුදලට සරිලන සේවාවක් ඉන් නොසැපයෙන බවද බෙල්ලන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *