Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බහරේන් ක්‍රිකට් නගා සිටුවීමට ශ්‍රී ලංකාවේ සහාය: තානාපතිනියට උපහාර

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය, දෙරට අතර ක්‍රිකට් සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බහරේන් ක්‍රිකට් සම්මේලනයේ නිලධාරීන් සහ බහරේනයේ සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවී තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති මෙම හමුවේදී, බහරේනයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම, ඉදිරි සැලසුම් සහ ක්‍රීඩාව හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සහාය ඇතිව 2026 සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 01 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු බහරේන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්යසාධන පුහුණු වැඩසටහන (High-Performance Training Programme) පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණි. දේශීය කණ්ඩායම් සමඟ පැවති විස්සයි20 පුහුණු තරග සහ දැඩි පුහුණු සැසි ඇතුළත් වූ එම වැඩසටහන මගින් බහරේන් ක්‍රීඩකයන්ට අමතර පුහුණුවක් සහ තරග අත්දැකීම් ලැබුණු බව සඳහන් විය.

තම කණ්ඩායමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් බහරේන් ක්‍රිකට් සම්මේලනය තානාපතිනියට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පළ කළ අතර, දෙරට අතර සහයෝගීතාව අගයමින් එම සම්මේලනයේ උපදේශක මණ්ඩල සභාපති මොහොමඩ් මන්සූර් (Mohammad Mansoor) මහතා විසින් තානාපතිනිය වෙත සමරු සළුවක් ද පිරිනමන ලදී.

ඔබේ අදහස