‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘ – ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.

2024 වර්ෂයේ මහ කන්නයට අදාළ පොහොර සහනාධාරය ලබා දීම පසුගිය ඔක්තෝම්බර් මස 14 වැනිදා  ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක 22ක ගොවින් එක්ලක්ෂ නවදහසක් වෙනුවෙන් රුපියන් මිලියන 1292ක් ලබා දී ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ඉන් ගොවින් 19,900ක් සිටින අම්පාර දිස්ත්‍රික්කයට මිලියන 291ක් වැඩිම වූ මුදල දී ඇති බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.

පළමු අදියරේදි හෙක්ටයාර 1ක් සඳහා  රුපියල් 15,000ක් ද දෙවන අදියර සඳහා රුපියල් 10,000ක් ලබා දිමට සැලසුම් කර ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.පළමු අදියරේදී සහනාධාරය ලබා දිම සිදුවන්නේ කුඹුරේ ප්‍රථම සී සෑම අවසන් කර ඒ බව දැන්වූ වහාම බවද ඔහු සඳහන් කළේය.

පොළොන්නරුවේ ගොවීන් සඳහා කඩිනමින් පොහොර සහනාධාර ලබාදීම සිදු වන බවත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *