පොලිස් සේවය අගයමින් දුන් ත්‍යාග මුදලේ ව්‍යාජ 5000 මුදල් නෝට්ටු දෙකක්

බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අගයමින් දි තිබූ පොලිස් ත්‍යාග මුදල් අතර ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙකක් තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම බුද්ධි අංශ කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින අතර ඔහු 2023 වසරේ කළ සේවය වෙනුවෙන් ඇගැයීමකට ලක් කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ත්‍යාග මුදලින් ඔහුට රුපියල් 24,000 ක මුදලක් ඉකුත් 21 වැනි දින පිරිනමා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම මුදල ඉහත නිලධාරියාට ගෙවන ලෙසට මොරටුව මුලස්ථාන පොලිසියේ ගෙවීම අංශයේ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකු වෙත යොමු කර ඇති
අතර, එම කොස්තාපල්වරයා ඉකුත් 21 වැනි දින ඉහත මුදල වෙනත් කොස්තාපල්වරයකු අත බුද්ධි අංශ කොස්තාපල්වරයා වෙත දී ඇති බව එම නිලධාරියා කීය.

එම මුදල ලබාගත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ කොස්තාපල්වරයා එය පරික්ෂා කිරීමේදී එහි ඇති රුපියල් 5000ක මුදල් නෝට්ටු දෙකක් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇත. එම පන්දගේ තෝට්ටු දෙක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එය ව්‍යාජ නෝට්ටු දෙකක් බවට හෙළිවීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත සිද්ධිය පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියමයෙන් මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතාගේ මෙහෙය වීමෙන් මොරටුව මුලස්ථාන පොලිසිය
විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *