පොලිස්පති C.D වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර නොමැති බවත්, එබැවින් ඔහුගේ සේවා දිගුව නීත්‍යානුකූල නොවන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් පොලිස්පතිවරයාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නොමැති බවත් ඔහුගේ සේවා දිගුව නීත්‍යානුකූලදැයි ප්‍රශ්න කරන බවත්ය.
නීත්‍යානුකූලව පත්කළ පොලිස්පතිවරයෙකු මෙරට නොමැති බවත් එය බරපතල කාරණයක් බවත් වීරවංශ මහතා පැවසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පොලිස්පතිවරයෙකු නම් කිරීමට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බවත් එය නීත්‍යානුකූල බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එය අනුමත කරමින් සිටින බවත්ය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, පොලිස්පතිවරයාගේ සේවා දිගුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙවතාවක් අනුමැතිය ලබාදුන් බවත්, ඔහුගේ තුන්වන සේවා දිගුව අනුමත කර නොමැති බවත්, නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සුදුසු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිරීක්ෂණය කර ඇති බවත්ය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට පොලිස්පතිවරයකු නොමැති බවත් එය බරපතළ ප්‍රශ්නයක් බවත්ය.
එය ජනාධිපතිවරයා විසින් හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් එය දෝෂාභියෝගය කළ හැකි වරදක් බවත් ඔහු පැවසීය.