‘පොරව’ හරස් වී ආදිවාසී උපනායකයාට ඡන්දය අහිමි වෙයි

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දය නොදී නැවත හැරී පැමිණි සිදුවීමක්  වාර්තා විය.

එයට හේතු වී ඇත්තේ ආදිවාසී උප නායකයා තම ආදිවාසී සංස්කෘතියේ අනන්‍යතාව වන ‘පොරව’ කරමත තබාගෙන ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි බව පවසමින්, මධ්‍යස්ථාන භාර නිලධාරියා ආදිවාසී උපනායකයාට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙනි. ඒ නිසා උප නායකයා ඇතුළු පවුලේ පිරිස ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී පැමිණ ඇත.

පසුව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් සිය ‘පොරව’ කර මත රඳවාගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේ කිසිදු ගැටලුවකින් තොරව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා අවස්ථාව ලබා දී ඇත. ඉන්පසු ආදිවාසී පරපුරේ අනෙක් පිරිසට ද ගැටලුවකින් තොරව පොරව කර මත තබා ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබී ඇත.

ආදිවාසී උපනායකයා මුහුණ දුන් එම සිද්ධිය පිළිබඳව ආදිවාසී නායකයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් දෙමින් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් හා ආදිවාසී සංස්කෘතිය පිළිබඳ නොදන්නා මෙවන් නිලධාරීන් මෙවැනි සංස්කෘතියක් පවතින ගම්වල ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරී සඳහා පත් කිරීමෙන් වැළකී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටි අතර එම සිද්ධිය පිළිබඳව සිය දැඩි අප්‍රසාදය ද පළ කර සිටියේය. ආදිවාසී සංස්කෘතික අංගයක් වන කර මත රැඳි ‘පොරව’ සහිතව, විදෙස් සංචාර සේම, ගුවන් තොටුපළට හා අධිකරණවලට යා හැකි නම් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පමණක් ඡන්ද මධ්‍යස්ථානවලට යා නොහැක්කේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *