පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන බවට මතයක් නිර්මාණය කිරීමට විපක්ෂය උත්සාහ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාතිවාදය සහ ආගම්වාදය දේශපාලන වාසි තකා භාවිත නොකළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළා.” පාස්කු ප්‍රහාරය හේතුවෙන් තවමත් පීඩාවට පත් ජනතාවක් සිටිනවා. මියගිය සහ තුවාල ලැබූ කිසිවෙක් ත්රස්තවාදීන් නොවේ. මිනීමැරීම අපි අනුමත කරන දෙයක් නෙවෙයි. මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා අප සියලු දෙනාම එක තැනක සිටිය යුතුයි” අමාත්‍යවරයා පැවසීය.
‘අද මේ යෝජනාව ගෙනාවේ එදා රට පාලනය කළ අය. එම කාලය තුළ ප්‍රහාරය සැලසුම් කිරීමට සහරාන්ට අවශ්‍ය පහසුකම් ලබාදුන් බව කෙනෙක් කියනවා.එතකොට සහරාන් ඇතුළු කණ්ඩායමට අවශ්‍ය පහසුකම් දුන්නේ කවුද? මම හිතන්නේ නෑ කිසිම රජයක් එහෙම කරයි කියලා.ඒත් සමහරු එහෙම කරලා තියෙනවා නම් ඒ වැරැද්ද පිළිගන්න ඕනේ. රාජපක්ෂලා මේවට ඇදලා දාන්න එපා. නමුත් මේකට වගකිවයුත්තන්ට විරුද්ධව පියවර ගත යුතුයි.
“අද මේ විවාදය පවත්වන්නේ දේශපාලන වාසි ගන්නයි. මේක වැරදියි. ගම්වල මිනිස්සු තාම දුක් විඳිනවා. යහපාලන රජය සමයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුම් ඇති විය.අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණීමටවත් ඉඩ ලබා දුන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩල රැස්වීමට අගමැතිවරයාට සහභාගි වීමට ඉඩක් ලබාදෙන ලෙස යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු ජනාධිපතිවරයාට බලපෑම් නොකළේ ඇයි. එදා රටේ දේශපාලන ස්ථාවරත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි බලයට ආවේ. එහෙම නැතුව පාස්කු ප්‍රහාරයක් නිසා නෙවෙයි.